ඖෂධ හිඟ නිසා මෙරට රෝහල් වල මෙතෙක් කිසිවකු මියගොස් නැති බව නව සෞඛ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත.
එසේම ඖෂධ ගෙන්වීම සඳහා ණයවර ලිපි (LC) විවෘත කිරීම ප්‍රමාදයක් සිදුව ඇති බවත් එම නිසා ඖෂධ ගෙන්වීමෙහි ප්‍රමාදයක් ඇති විය හැකි බවද ඔහු පැවැසීය. ඒ අනුව ඇතැම් ඖෂධ ගෙන්වීමට දින අනූවකට වඩා ප්‍රමාදයක් සිදු විය හැකි බවත් ඒ අනුව ඖෂධ විශාල ප්‍රමාණයක හිඟයක් ඉදිරි මාස තුන තුළ සිදුවන බවත් පැවැසීය. ණයවර ලිපි (LC) විවෘත කිරීමට ප්‍රමාද වන්නේ ඒ වෙනුවෙන් නිකුත් කිරීමට ඩොලර් නොමැතිවීම මතය.
කෙසේ නමුත් රජය ඖෂධ ගෙන්වන තෙක් සියළු රෝග පීඩාවන් විඳගෙන ජීවිතය රැකගෙන සිටීමට රෝගීන්ට සිදුව තිබේ. ඖෂධ නොමැති වීමෙන් මරණයක් සිදුවන්නේ නම් එහි වගකීම රෝගියා විසින් බාර ගත යුතුය… යන්න මිසක් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙ ප්‍රකාශයෙන් වෙනකක් නොකිය වේ. සමහර විට හෙට අනිද්දාට අපි දේශීය වෙදකම නැංවීම වෙනුවෙන් බටහිර ඖෂධ ගෙන්වීම සීමා කළා යැයි ආණ්ඩුව කීවද පුදුම නොවිය යුතුය.
මේ වන විට රෝහල් විශාල ප්‍රමාණයක සැත්කම් කල් දැමීම සිදුව ඇත. හදිසි සැත්කම් සඳහාද රෝහල් වල ඖෂධ හිඟ බවත් වාර්තා වේ. අත්‍යවශ්‍ය ඖෂධ ලෙස නම් කර තිබෙන ඖෂධ වර්ග 646 න් 37 ක් මේ වන විට දිවයිනේ කිසිදු රෝහල නැති බවත්, අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග 486 කින් 45 ක් පමණ රොහල වල් නොමැති බවත්, රජයේ දත්ත අනුව ප්‍රකාශයට පත්ව තිබේ.
එසේම විද්‍යාගාර පර්යේෂණ කටයුතු සඳහා යොදා ගන්නා ඖෂධ සහ රසායනික වර්ග 4500 කින් 253ක් මෙරට නැත. ශෛල්‍ය වෛද්‍ය උපකරණ 8442 කින් 1138 ක් මේ වන විට මෙරට නැත. හෙට දිනයේදී මේ තත්වය තව දුරටත් වර්ධන වීම මත මාස තුනක් ඇතුලත කිසිදු ඖෂධ වර්ගයක් මෙරට නොමැති වීමේ බරපතල අවදානමක් තිබේ.
අද වන විට කිසිදු රෝගියකු ඖෂධ නොමැති කමින් මිය ගොස් නැති බව ට ඇමැතිවරයාට පැවැසිය හැකි නමුත් මොහු නුදුරු දිනෙක පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරනු ඇත්තෙ දිනපතා රෝහල් වාට්ටු වල මිය යන රෝගීන්ගේ සංඛ්‍යා ලෙඛනයන්ය. දැන්ම තියා මෝචරි සූදානම් කර ගැනීමට ඇමැතිවරයා කටයුතු නොකළහොත් රෝහල් ඇඳන් උඩ මළ සිරුරු කුණු වෙනු ඇති බවත් අපට අවධාරණය කරන්නට සිදුවේ.