පසුගිය මාස කිහිපයේ හෘද රෝගීන් වැඩිවීමට විද්‍යාත්මක හේතුව ?

පසුගිය මාස කිහිපයේ හෘද රෝගීන් වැඩිවීමට විද්‍යාත්මක හේතුව ?

හෘදයාබාධ සියයට විස්සකින් තිහකින් ඉහළ ගොස් ඇති බවට ජාතික රෝහලේ වෛද්‍යවරු කරන ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත්, මේ ආකාරයට එක්වරම හෘද රෝගීන් වාර්තාවීම ඉහළ යාමට විද්‍යාත්මක හේතුව කුමක්දැයි සොයා බැලිය යුතු බවත් දේශීය හා බටහිර වෛද්‍ය වෘත්තිකයින්ගේ එකමුතුවේ ජාතික සංවිධායක වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන පැවසුවේය.

මේ අවස්ථාවේදී රටේ ඇතිව තිබෙන ඖෂධ හිගයට කඩිනමින් විසදුම් ලබාදිය යුතුව ඇති බවද, බටහිර ඖෂධ හිගයක් ඇතිවන අවස්ථාවලදී දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සදහා යොමුවිය යුතු බවද දේශීය හා බටහිර වෛද්‍ය වෘත්තිකයින්ගේ එකමුතුව විසින් කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මෙසේද කීවේය.

අපේ රටේ හෘදයාබාධ සියයට විස්සකින් තිහකින් ඉහළ ගොස් තිබෙන බව ජාතික රෝහලේ වෛද්‍යවරු පවසනවා. මේක සුළුවෙන් තැකිය යුතු තත්වයක් නෙමෙයි. හෘදයාබාධවලට ලක්වන පුද්ගලයින්ගෙන් කොටසක් මිය යනවා. දැන් තිබෙන තත්වය අනුව බයිපාස් සැත්කම් ඉක්මනින් කරගැනීමටත් නොහැකි වෙලා තියෙනවා.

ලංකාවේ සෑම පළාතකින්ම මේ ආකාරයට හෘදයාබාධවලට ලක්වන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යන බව වාර්තා වෙනවා. කොළඹින් පමණක් නොව, ඈත ගම්බද ප්‍රදේශවලින් මේ තත්වය ඇතිවෙලා තියෙනවා.

මේ සමගම මොලෙ ලේ කැටි සිරවීමේ තත්වයන්ද දක්නට ලැබෙනවා. ශරීරයේ පැත්තක් පණ නැතිවීමේ තත්වයන් වාර්තා වෙනවා. ඒ වගේම කාන්තාවන්ගේ ඔපස් චක්‍රයේ වෙනස්වීම්, කොන්ද අමාරුව වැනි රෝග ආබාධත් ඇතිවෙලා තියෙනවා.

මෙහෙම කෙටි කාලයක් ඇතුළත රෝග තත්වයන් ඇතිවීමට හේතු සොයා බලන්න ඕන. විද්‍යාත්මක හේතු ගැන අධ්‍යයනයක් කරන්න ඕන. අපේ රටේ ජනතාව හෘදයාබාධවලින් බේරා ගැනීමට කටයුතු කරන්න ඕන

අද වන විට බටහිර ඖෂධ හිගයක් ඇතිවෙලා තියෙනවා. දේශීය ඖෂධවලින් බටහිර ඖෂධවලින් කරන කාර්ය කරගැනීමට අපිට දැන් අවධානය යොමු කිරීමට සිදුව තිබෙනවා. එහෙම වුනොත් ඖෂධ නොමැතිකමින් මිය යන රෝගීන් බේරාගැනීමේ අවස්ථාව අපිට ලැබෙනවා. ඒ කතිකාවතත් අපි ඇති කරන්න ඕන

සැත්කමක් සිදුකිරීම සදහා, දියවැඩියාව, ළමා රෝග සදහා වන ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ. මේවා අනිවාර්යෙන්ම තිබිය යුතුයි. අපි ඖෂධ සදහා සෑම අවස්ථාවකදීම ප්‍රමුඛතාවය ලබාදිය යුතුයි. රටට ආදරේ හැමෝම එකතුවෙලා ඖෂධ හිගයට විසදුම් ලබාගැනීමට කටයුතු කළ යුතු වෙනවා. මේ අතරම ඇතැම් ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකි නම් ඒ සදහා විකල්ප සොයා බැලිය යුතුයි.

අද වන විට ඩොලර් අර්බුදයක් ඇතිව තිබෙනවා. ඩොලර් අර්බුදයට විසදුමක් විදියට දේශීය ඖෂධ විදේශ රටවලට අපනයනය කරලා, ඒ හරහා ඩොලර් රටට ගෙන ඒමට අවශ්‍ය කටයුතු කිරීමට අපි අවධානය යොමු කළ යුතු වෙනවා.

ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය නන්ද ගුණවර්ධන මෙසේද කීවේය.

කොවිඩ්වලින් පසුව ජනතාවට ඇතිවී තිබෙන අතුරු ආබාධ සම්බන්ධයෙන් අපි පර්යේෂණයක් පැවැත්වුවා. දිස්ත්‍රීක්ක 16ක් තුළ අපේ වෛද්‍ය කණ්ඩායම් ගොස් දත්ත එකතු කරගත්තා. ඒ අනුව කළ විස්ලේශණයක් අනුව, කොවිඩ් එන්නතෙන් පසුව අවුරුදු තිස් අටත් හැත්තෑවත් අතර පුද්ගලයින්ට අතුරු ආබාධ ඇතිව තිබෙනවා.

ඇමරිකාව, කැනඩාව වගේ රටවල් එක් එන්නතක් ලබාදුන්නත් අපේ රටේ විවිධ එන්නත් ලබාදුන්නා. ඒ අනුව එක් එක් එන්නතෙන් පසුව ඇතිවී තිබෙන අතුරු ආබාධ ගැන අපි අධ්‍යයනය කර තිබෙනවා

අපිට තියෙන දත්ත අනුව කාන්තාවන්ට අතුරු ආබාධ ඇතිවීමේ හැකියාව පිරිමි පාර්ශවයට වඩා සියයට හැත්තෑවකට වඩා වැඩියි. ඇතැම් පුද්ගලයින්ට අතුරු ආබාධ දෙක තුනකට වඩා වැඩියෙන් තිබෙන පිරිස් ඉන්නවා. බොහෝ දෙනෙක්ට පෙනීමේ වෙනස්වීම් ඇතිව තිබෙනවා.

ලංකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල දෙකක මහාචාර්යවරු දෙදෙනෙක් එකතුවෙලා තමයි මේ පර්යේෂණය පවත්වා තිබෙන්නේ.

කොරෝනා එන්නත්කරණය නිසා මරණ අඩුවෙලා තියෙනවා. මේක ලෝකයේ වෛද්‍යවරු පිළිගත් සත්‍යයක්. ඒත් එයින් ඇතිවන අතුරු ප්‍රතිඵල ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඔස්ටේ්‍රලියානු ආණ්ඩුව නිර්භීත තීරණයක් අරගෙන, එන්නත්කරණෙය පසුව අතුරු ආබාධවලට ලක්වූ අය සොයා ගෙන ඔවුන්ට ප්‍රතිකාර කිරීමට, වන්දි ලබාදීමට ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා.

මේ වන විට රටේ ඇතිවෙලා තියෙන ආර්ථික අර්බුදයට හේතුව කොරෝනා කියලා කියවෙනවා. රටක් වහන තීරණය ගැනීමේ කමිටුවල වෛද්‍යවරු වගේම ආර්ථික විදයාඥයින් ඉන්න ඕන. ඒ අයගේ උපදෙස් නිවරදිව ලැබුණා නම් රට වැහුනාම ආර්ථිකය කඩා වැටෙන ආකාරය ගැන පැහැදිළි කරන්න ඕන. අපිට ඒක හරියට ලැබිලා නෑ. ලෝකයේ වෙනත් රටවල් වහලා තිබුණේ නැද්ද? ඒ රටවල ආර්ථිකයන් කඩාගෙන වැටිලා නැහැනේ. එහෙනම් අපේ රටේ උපදෙස් ලැබීම සම්බන්ධයෙන් ගැටලුවක් තමයි ඇතිවෙලා තියෙන්නේ.

සමහර නොදියුණු යැයි පැවසෙන රටවල් වහන්නේ නැතිව දේශීය ඥාණය සහ බටහිර ඥාණය යොදාගෙන තමන්ගේ ගැටලුවලට විසදුම් ලබාගත්තා. ආර්ථිකය හොදින් කළමනාකරණය කරගැනිමට කටයුතු කර තිබෙනවා. ගොඩක් දියුණු රටවල් කරන දේවල් අපි කරන්න ගියාම අපේ රටත් වැටෙනවා. ආර්ථිකයත් වැටෙනවා. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ.

මෙහිදී අදහස් දැක්වූ කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුවේ කැදවුම්කරු චන්දන ජයලත් මෙසේ පැවසුවේය.

දැන් හෘදයාබාධ වැඩි වෙන්න පුලුවන් කියන එක අපේ වෛද්‍යවරු මීට මාස ගණනාවකට පෙර පැවසුවේ. දැන් ජාතික රෝහලේ වෛද්‍යවරු මේ බව ප්‍රකාශ කරනවා. අපි මේවාට විසදුම් සෙවිය යුතුයි.

ඡායාරූප – කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුවේ කැදවුම්කරු චන්දන ජයලත්, වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන, ආචාර්ය නන්ද ගුණවර්ධන, ආර්යුවේද වෛද්‍ය සුජී සුමුදු ලියනාරච්චි

Leave a Reply

Your email address will not be published.