සිරිසේනට පුලුවන් පාස්කු පවෙන් මිදෙන්න අන්තර්වාරේ ඇමැතිකමක් ගන්න

සිරිසේනට පුලුවන් පාස්කු පවෙන් මිදෙන්න අන්තර්වාරේ ඇමැතිකමක් ගන්න

පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමට අන්තර්වාර ආණ්ඩුවක් පිහි‍ටුවීම කෙරෙහි සාකච්ඡාවට දැන් මාස කිහිපයක්ම ගත් වී තිබුණද අද මේ ලියන මොහොත දක්වාම ඒ අන්තර්වාර ආණ්ඩුව බිහිකර ගැනීමට පාර්ලිමේන්තුව අසමත්ව තිබේ. කොහොම නමුත් අන්තර්වාර පාලනයක අගමැතිධුරය බාර ගැනීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කැමති වී ඇති බවත් ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එකඟත්වයද ලැබී තිබෙන බවත් දැන ගැනීමට තිබේ. මේ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් 150 කට ආසන්න පිරිසකගේ කැමැත්ත රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි ඇති බවත් එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත් මෙම අන්තර්වාර ආණ්ඩුවේහි අගමැතිධුරය සඳහා ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් කැමැත්ත පළ කර තිබිණි. ඒ සඳහා කොන්දේසි ගනනාවක්ද ඉදිරිපත් කර තිබිණි. ඔවුන්ගේ මූලිකම කොන්දේසිය වුයේ ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් විය යුතු බවය. එයට තාර්කික පදනමක් තිබුණත් එය හදිස්සියේ ඉ‍ටු වීම ප්‍රායෝගික තලයක තිබුණේ නැත. එසේම එම පාර්ශ්ව දෙකට ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීමට අවශ්‍ය බහුතර මන්ත්‍රී පිරිසකගේ කැමැත්තද අවශ්‍යව තිබුණු නමුත් එය සපුරා ගැනීමට සමත්ව තිබුණේද නැත. ඒ් සියල්ලටම වඩා ආර්ථික අර්බුදය විසැඳීමේ ගැටලුවට විශ්වාසදායක උත්තර මේ අය සතුව තිබුණේද නැත.

මේ අතර පොදුජන පෙරමුණු ආණ්ඩුවේ කොටස්කාර පක්ෂ 11 නියෝජනය කරන ශ්‍රී ලනීපය ප්‍රමුඛ පක්ෂ වලින්ද අගමැති තනතුර සඳහා නාමයෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබිණි. එහෙත් මේ වන විට ශ්‍රිලනිප නායක මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ එම නාම යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් නොකළ බවය.

ඒ කෙසේ නමුත් විශේෂයෙන්ම ශ්‍රී ලනීපයට අන්තර්වාර ආණ්ඩුවක ප්‍රධාන කොටස් කරුවකු වීමේ වුවමණාව තිබිණි. එයට කවර දේශපාලනික වුවමණාවන් ප්‍රකාශ කර තිබුණද වඩාත් විශ්වාස කළ හැකි තත්වය නම් මෛත්‍රීපාල සිරිසේනට එල්ල වී ඇති පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වන චෝදනාවෙන් ගැලවීම සඳහා මෙම අන්තරවාර ආණ්ඩුවක ප්‍රධාන නියෝජනයක අවශ්‍යතාවය ඇතිව තිබූ බවයි.

එසේම ජනාධිපතිධුරයෙන් විශ්‍රාම ගැනීමේදී කොළඹ පැජට් පාරේ නිවාසය නීති විරෝධීව හිමිකර ගැනීම සඳහා අක්‍රමිකතාවයක යෙදුනු බවටත් චෝදනාවක් තිබේ. මෙම චෝදනාවන්ගෙන් නිදහස් වීම සඳහා බොර දියෙහි මාළු බෑමක නිරත වීම සිරිසේනගේ අපේක්ෂාව විය හැකි බව මේ රටේ දේශපාලනය ගැන සුලු හෝ අවබෝධයක් තිබෙන්නෙකුට වටහා ගත හැක.

සිරිසේන සම්බන්ධයෙන් පමණක් නොව මේ වන විට රට මුහුණ දී තිබෙන දේශපාලනික සහ ආර්ථික අර්බුදකාරිත්වය හමුවේ සහ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට ජනතාවගේ බරපතල විරෝධය එල්ල වී ඇති අවස්ථාවක,තමන් රට බේරා ගැනීම සඳහා ඉතා බරපතල අවධානමක් දරගෙන ඉදිරිපත් වෙන බව ජනතාවට හඟවා තමන්ගේ පරණ පවු වලින් ගැලවීමට ගන්නා උත්සාහයන්ද මේ මොහොතේ නැතිවා නොවේ.

වංචා දූෂණ අපරාධ චෝදනා එල්ල වී සිටින ඇතැම් මැති ඇමැතිවරුන් තමන්ගේ ඇඟ තැවැරුනු කුණු පැල්ලම්, ලේ පැල්ලම් සුද්ද බුද්ද කර ගැනීමට මෙම අන්තර්වාර ආණ්ඩුවට සහය දීමෙන් සිදු කරගත හැකි බව කල්පනා කරනවාට කිසිදු සැකයක් නැත. මේ වන විට ජනතාව අතරට තබා තමන්ගේ නිවසට වී සිටීමේ අවස්ථාවන්ද නැති කරගෙන සැඟව සිටින මන්ත්‍රීවරුන්ට මේ අන්තර්වාර පාලනය හරහා අඩුම තරමින් ඉදිරි මහ මැතිවරණය තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිට තමන්ගේ පැවැත්ම සකසා ගැනීමේ අභිප්‍රාය නිසැකවම ඇත.

අද මෙම අන්තර්වාර පාලනයක් යෝජනා වන්නේම පැවැති ආණ්ඩුව සහ ජනාධිපතිවරයා කළ වැරදි වලට එරෙහිව ජනතාව වීදි බැසීමේ ප්‍රතිපලය ලෙසය. මේ වන විටත් එම ජනතා වුවමණාවන් ඉ‍ටුවී නැති වුවත් නව අන්තර් පාලනය හරහා අඩුම තරමින් ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් කිහිපය හෝ සපුරා ගැනීමට හැකි වෙනු ඇතැයි බහුතර ජනතාවක් විශ්වාස කරයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිධුරය බාර ගැනීම බහුතර ජනතාවක් මේ මොහොතේදී අනුමත කරන බවටද සැකයක් නැත. පාරේ තොටේ, බස් එකේ , ත්‍රීවීලර් එකේ, කඩ පිළේ මහජනතාව අතර වන සංවාද වල එය පැහැදිලිවම දකින්නට ලැබෙන්නෙකි.එසේම සමාජ ජාලා තුළ කළ මත විමසුම් වලිද රනිල් වික්‍රමසිංහගේ සුදුසුකම බහුතරයක් දෙනා පිළිගෙන තිබේ.

මේ අනුව මෙම ජනතා විශ්වාසය ‍රැකගෙන , රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීමේ වගකීම අගමැති රනිල් වික්‍රම සිංහට සහ එම අන්තර්වාර ආණ්ඩුවට සහය දක්වන සියලු පිරිස් වෙත තිබේ. සැබැවින්ම සමස්ත පාර්ලිමේන්තුවේම සහය ඊට හිමිවිය යුතුය.

එහෙත් මේ අන්තරවාර ආණ්ඩුවට මුවා වී තම තමන්ගේ සුද්දවන්ත භාවය වෙනුවෙන් එය පාවිච්චි කරන්න කැස කවන වුන්ගෙන් සහ තවදුරටත් දේශපාලන තනතුරු තමන්ගේ බඩ ගෝස්තරය වෙනුවෙන් පාවිච්චි කිරීමට උත්සහ ගන්නා වුන්ගෙන් පරිස්සම් වීමට නව පාලනය දැන ගත යුතුය.

එවැනි ජරා ජීරණ තත්වයකට යළි පත් වුවහෝත් ජනතාව තව ඉතිරිව තිබෙන මැති ඇමැතිවරුන්ගෙ ගෙවල් දොරවල් ගිනි බත් කිරීමට දෙවරක් කල්පනා නොකරනු ඇත. එසේම තමන්ගේ අපේක්ෂාවන් මුදුන් පත් වන තුරු අරගලයෙහි යෙදෙන කණ්ඩායම් අරගලය දිගටම පවත්ගෙන යායුත්තේ අන්තර්වාර ආණ්ඩුව ලවා එම අපේක්ෂාවන් ඉටුකර ගන්නා දිශාවට තල්ලුකරමිනි. දිගින් දිගටම මහ ජනතාවත් පීඩාවකින් තොර ජීවිතයක් වෙනුවෙන් පාලකයන්ට දැඩි බලපෑමක් එල්ල කළ යුතුය. එසේ නොවුණහොත් අන්තර් වාර පාලනයකත් පැවැති පොදුජන පෙරමුණු පාලනයේත් වෙනසක් දකින්න නොලැබෙනු ඇත.

අන්තර් වාර පාලනය තුළට නුසුදුස්සන් රිංගා ගතහොත් ජනාධිපතිවරයා මේ මොහොතේදී අන්තර්වාර පලනයක් බීහිකිරීම හරහා රට ගොඩගැනීම ගැන යම් කිසි වූ බලාපොරොත්තුවක් තබාගෙන සිටියා නම් එයද අහෝසී වීම විය හැකිය. එමඟින් අද ඔහුට එරෙහිව තිබෙන විරෝධය තවදුරටත් වැඩි වෙනවා මිස වෙනකක් වීමට ඉඩ නැත. මේ නිසා දූෂිතයන්ට අපරාධ කරුවන්ට ඇමැති තනතුරු ලබා නොදී සිටීමට ඔහු වග බලාගත යුතුය. එසේම රාජ්‍ය ආයතනයන් හී ඉහළ තනතුරු සම්බන්ධයෙන්ද ගනුදෙනු සම්බන්ධයෙන්ද විනිවිද පෙනෙන සුළු ක්‍රියා පටිපාටීන් හරහා ඒවාට සුදුසු නියම පුද්ගලයන් අතින් නියම ක්‍රමවේදයන් මඟින් ඒ් සිදුකිරීමට වග බලා ගත යුතුය.

තමන්ගේ ගජ මිතුරු කෝටිපති ව්‍යාපාරික හිතවතුන්ගේන් පරිස්සම් වීමට ද අත්‍යාවශයෙන්ම ජනාධිපතිවරයා බුද්ධිමත් විය යුතුය.

පිරිසිදු කාර්යක්ෂම පාලනයක් ස්ථාපිත කර රට මුහුණ දෙන අර්බුදයන්ගෙන් ගොඩගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාත් අගමැති ප්‍රමුඛ ඇමැති මණ්ඩලයත් වගකීම් සහගත ලෙස කටයුතු කළහොත් අද ඔවුන්ට එරෙහිව තිබෙන මහජන විරෝධයන් යම් තරමකින් හෝ සන්සිදී රෙද්දක් ඇඳගෙන එම තනතුරු වලින් ඉවත්ව යන දිනක ඉවත්ව යෑමේ පහසුකම් ජනතාව වෙතින්ම සැලසෙනු ඇත.

  • editor

Leave a Reply

Your email address will not be published.