රාජපක්ෂ පොලිසිය, සාමකාමී අරගලකරුවන් මර්දනය කරන බව තහවුරුවේ !

රාජපක්ෂ පොලිසිය, සාමකාමී අරගලකරුවන් මර්දනය කරන බව තහවුරුවේ !

ජනතා මුදල් වංචාකර ගොඩනැගූ වීරකැටියේ රාජපක්ෂ මාපිය සොහොන් කොත කැඩිමේ චෝදනාව ඇතුලු බොරු චොදනා 06ක් මත වෑකදවල ‍රාහුල හිමිව වීරකැටිය පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන මේ වන විට 31 වනදා දක්වා රිමාන්ඩ් කර තිබේ. නමුත් මේ චෝදනා සියල්ල පටට්පල් බොරුය. චෝදනා සියල්ල බොරු චෝදනා බව ඔප්පු වන්නේ වෑකදවල රාහුල හිමි එම සිදුවීම වූ මැයි 09 වන දින වීරකැටියේ තබා හම්බන්තොට දිස්ත්‍රික්කය තුළවත් වැඩවාසය නොකළ නිසාය. උන් වහන්සේ එම දින කිහිපයේදී වැඩවාසය කර ඇත්තේ මාතර ප්‍රදේශයේය.

රටේ බහුතර ජනතාවගේ පිළිකුලට, වෛරයට පාත්‍රවී සිටින චෞර රාජපක්ෂ නඩය රැකගැනීම සඳහා ජනතා මුදලින් වැටුප් ලබන ශ්‍රී ලංකා පොලිසියේ රාජපක්ෂ බත් බැලයන් අනීතිකව, අත්තනෝමතික ලෙස කටයුතු කිරිම ලැජ්ජා සහගතය. මහජන ආරක්ෂාව භාරව සිටින නව ඇමැති ටිරාන් අලස් මේ සම්බන්ධයෙන් වගකිව යුතුවේ.එසේම අරගලකරුවන්ගේ අයිතිය සුරකින බවට පොරොන්දු වූ අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඒ වගකීම පවරා සිටින රුවන් විජේවර්ධන ද මේ ගැන කියන්නේ කුමක්දැයි අරගලකරුවන් බලා සිටිති.

ශ්‍රී ලංකා පොලිසිය සහය ඇතුව අරලියගහ මන්දිරයේ සිට සැලසුම් සහගතව ආයුධ සහිතව පැමිණ ගාලුමුවදොර සාමකාමී අරගලකරුවන්ට පහර දීමට අනුබල දුන් මහින්ද රාජපක්ෂ , ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, දේශබන්දු තෙන්නකොන් , සුමිත් උඩුකුඹුර, තුෂාර සංජීව සහ වුන්ගේ මැර හෙංචයියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන මුත් වීරකැටියේ සොහොන කැඩීම සම්බන්ධයෙන් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සක්‍රීය හදවත වන වෑකදවල ‍රාහුල හිමි අත්අඩංගුවට ගෙන බොරු චෝදනා එල්ල කර 31 වෙනිදා තෙක් බන්ධනාගාර ගත කිරීම, ශ්‍රී ලංකාවේ නීතිය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන රාජපක්ෂලාගේ වැසිකිලි වළට වැටී ඇති බව යළි යළිත් ඔප්පු කරන සිදුවීමකි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහගේ අලුත් ආණ්ඩුවත් කටයුතු කරමින් සිටින්නේ රාජපක්ෂලාට අවශ්‍ය පරිදී නීතිය දෙකට තුනට නවා ක්‍රියාත්මක කිරීමට ඉඩ හරමින් බව ඔවුන්ගේ නිහඬතාවයෙන් පෙනී යයි.

ජනතා විරෝධය හමුවේ සැගවී සිටි රාජපක්ෂලා ඇතුළු මජර මැති ඇමතිවරු නැවත එළියට ගැනීමට, දැඩි ආරක්ෂාව සැපයීමට, ජනතා මුදල් මිලියන් ගනනින් වියදම් කරමින් හෙලිකොප්ටර් යවා පාර්ලිමේන්තු ගෙන ඒමට පවා රනිල් වික්‍රමසිංහ කටයුතු කිරිම මඟින් රාජපක්ෂලා සහ රනිල් වික්‍රමසිංහ අතර තිබෙන ප්‍රභූ දේශපාලන ගනුදෙනුව පැහැදිලිවේ .

තෙල් ටික ගන්න නැතුව, ගෑස් ටික ගන්න පෝලිම් වල සිටියදීම මිනිසුන් මැරී වැටෙන විට , බෙහෙත් ටික නැතිව මහමඟ දරුවන් මැරී වැටෙන විට ජනතාව එලවා දැමූ ජනතා ද්‍රෝහී මහින්ද රාජපක්ෂව පාර්ලිමේන්තු ගෙන ඒමට හෙලිකොප්ටර් යවන රටක ජනතාව මේවා දිහා බල බලා නිහඬව සිටිය යුතුද..?

ජනතාවගේ බලය ශක්තිමත් බව ජනතාව ඔප්පු කර පෙන්වන තාක් මේ තක්කඩි ශ්‍රී ලංකා මාතෘ භූමිය තුළ බඩ පිණුම් ගසමින් ජනතා මුදල් වලින්ම තවදුරටත් සැප ගන්නවා ඇත.

ජන අරගලය වඩ වඩා ශක්තිමත්ව, ජවසම්පන්නව,අධිෂ්ඨානශීලීව,එකමුතුව ජයග්‍රහණය තෙක් ගොඩනැගිය යුත්තේ දැන්ය. ඒ හැර ජනතාවට වෙන විකල්ප ඉතිරිව නැත.

-ලක්දේශ් විජේසිංහ

Leave a Reply

Your email address will not be published.