ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ධුරයෙන් ඉවත්කරන ලෙසට ජනාධිපතිවරයාට කරන ලද දැඩි බලපෑම හමුවේ මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ.
පසුගිය 09 වෙනිදා රාත්‍රීයේ කලහකාරී පිරිස් අරලියගහ මන්දිරයට පහරදීමට පැමිණි අවස්ථාවේදී, යුධ හමුදාපතිවරයා විසින් නිසි ආරක්ෂාවක් ලබාදීමට කටයුතු නොකළ බවට හිටපු අගමැතිවරයා ජනාධිපතිවරයාට චෝදනා කර තිබිණ.
එදින රාත්‍රී ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ගේ නිවාස ගිනි තැබීම වැලැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් ගේ චෝදනාවට ද ලක්වුයේ යුධ හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයාය.
පසුගිය කාලයේදී රට පුරා සිදු වූ ප්‍රචණ්ඩක්‍රියා හමුවේ යුධ හමුදාපතිවරයා ඇතුලු හමුදා සාමාජිකයින් අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටි බවට ආණ්ඩුපක්ෂ රැස්වීමේදී ජනාධිපතිවරයා හමුවේ ඇතැම් මැති ඇමතිවරුන් චෝදනා කර තිබිණ.
මැයි 31 වන දින යුධ හමුදාපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2022 ජුනි 1 වන දින වැඩ භාර ගනී.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම නව කාර්යාලයට පත් කරන විට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ බවයි.
මේ අතර, වත්මන් මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා මාණ්ඩලික ප්‍රධානී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ජූනි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීමට නියමිතය.
මේ අනුව මේජර් ජනරාල් විකුම් ලියනගේ ජුනි මස පළමුවනදා සිට නව යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බව ද යුද හමුදා වෙබ් අඩවිය වාර්තා කරයි.නව යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිත, මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේ වනවිට රාජකාරි කටයුතු සිදු කළේය.