ඩීල් සහ ඔස්තාද් පැජන්ට්වරු. නිව්යෝර්ක් ගුටිබැට හුවමරුවේ ඇත්ත කතාව !

ඩීල් සහ ඔස්තාද් පැජන්ට්වරු. නිව්යෝර්ක් ගුටිබැට හුවමරුවේ ඇත්ත කතාව !

පසුගියදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවති “Miss Sri Lanka for New york” රෑ රැජන තරඟය ගුටි බැට මැද අවසන් වූ අයුරු දේශීය මෙන්ම විදේශීය සමාජ මාධ්‍ය ජාලාවල මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලද පුවත් මවන්නට සමත් විය. මෙම තරඟය ලංකාවේද රෑ රැජණන් තෝරා අපකීර්තියට පත් චන්දිමාල් ජයසිංහගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලදි. චන්දිමාල් ඇතුළු නඩය ලංකාවේදී ලද අපකීර්තිය පදනම් කොට ගෙන, ලංකාව මඟහැර, ලාංකික ඩයස්පෝරාව වෙතට ලංවීම මෙහි මූලික අරමුණ ලෙස පෙනී යන කරුණකි.

මෙවැනිම තරඟයක් ඉතාලියේද සංවිධානය කරන්නට කටයුතු යොදමින් සිටීම, සාධාරණ සැකයට තුඩු දෙන්නකි. මෙවැනි තරඟයක ජයග්‍රාහිකාව, ජයග්‍රහණයෙන් අනතුරුව මුහුණ දෙනු ලබන වෙනත් තරඟයක් නැත. මිස් ශ්‍රීලංකා නම්, මිස් වර්ල්ඩ් හෝ වෙනත් තරඟ වටයකට මුහුණ දෙනු ලබන්නට සිදුවේ. නමුත් මෙම තරඟයේ නම් කිසිදු ඉදිරි ගමනක් නැත. එනයින් තේරුම් ගන්නට සිදු වන එකම කාරණය නම් මෙය මුදල් රැස්කිරීම අරමුණු කර පැවැත්වූවක් බව.

නමුත් තරඟ සංවිධායකයන් විසින් පුන පුනා කියන්නේ මහරගම පිලිකා රෝහලට ආධාර පිණිස මෙය සංවිධානය කල බවයි. මෙයින් ලද ආදායම කොපමණද? එසේම, කොපමණ ප්‍රමාණයක් පරිත්‍යාග කලා දැයි දන්නේ චන්දිමාල් සහ සංවිධායක මණ්ඩලයේ උදවිය පමණි.

මෙම තරඟය නිව්යෝර්ක් නගරයේ, “ස්ටැටන් අයිලන්ඩ්(Staten Island)” නම් ප්‍රදේශය ඉලක්ක කරගෙන සංවිධානය කරන ලද්දකි. “ස්ටැටන් අයිලන්ඩ්” යනු ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ජීවත්වන පලාතකි. මෙම තරඟය වෙනුවෙන් “ස්ටැටන් අයිලන්ඩ්” හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකුව සංවිධාන කමිටුවට පත්කරන ලදි. එනම්, සින්ඩි සෙව්වන්දිකා, සුජානි ප්‍රනාන්දු, පින්ටෝ ඩි බෙස්ට්, ඩිල්කි පින්නගොඩ, නිරෝෂි යන අයයි. තරඟකාරියන් 14 දෙනෙකු එකතු කරගන්නට සංවිධායක කමිටුව සමත් විය.

එසේම ලංකාවේ ආයතනයකින් සියළුම ඇඳුම් නිර්මාණ කරවන්නටත්, ඒ වෙනුවෙන් තරඟකාරියන්ගෙන් මුදල් අය කරගන්නටත් කටයුතු යෙදුනි. එසේම තරඟකාරියන්ට ටිකට්පත් ප්‍රමාණයක් අලෙවි කරන්නටත් භාර විය. ඇමරිකාවේ වෙසෙන ලාංකික ව්‍යාපාරිකයන් අනුග්‍රාහකයන් ලෙස පත් කරගන්නටද හැකියාව ලැබුනි. මේ සියල්ලම නිල වශයෙන් සිදුවෙමින් පවතිද්දී. වැඩ මුළු ආරම්භ වන විටම ඩීල්ද ආරම්භ වූ බවට කසු කුසුවක් මතුව තිබිණි.

එසේම සමහර තෝරා ගත් සහ ඉලක්ක සහගත තරඟකාරියන්ගේ නොහැකියාවන් වසා දමනු වස් සමහර ඉසව් නවතා දමන ලදි. උදාහරණයක් ලෙස රට ගැන තෝරාගත් මාතෘකාවකට අනුව කරනු ලබන ඉදිරිපත්කිරීම(Presentation) නවතා දමා, සියළු තරඟකාරියන්ගේ ඉදිරිපත්කිරීම් නිවේදකයෙකු ලවා කරවන්නට තීරණය කරන ලදි. ජයග්‍රහණය සඳහා කල් තියා තෝරාගත් සමහර තරඟකාරියන්ගේ ඉදිරිපත් කිරීමේ කුසලතාවයේ අඩුපාඩු නිසාම එවැන්නක් තීරනය කරන ලද බවට තරඟකාරියන් මුල සිටම සැක කරන්නට විය.

එසේම තරඟකාරියන්ගේ දෙමාපියන්ටද ඒ බව වැටහිණි. එමෙන්ම සමාජ මාධ්‍යවල ජනප්‍රියම තරඟකාරිය තෝරන ඉසව්වද නවතා දමන ලදි. තරඟය ඉතා අසාධාරණ එකක් වන බව කල් තියා තේරුම්ගත් දෙමාපියන් සිය දියණියන් තරඟයෙන් ඉවත්කරගන්නට සූදානම් විය. එසේ වූවා නම් තරඟයට ඉදිරිපත් වනුයේ අවසාන ජයග්‍රාහිකාවන් කිහිප දෙනා පමණක් බව වටහා ගත් සංවිධායක කමිටුව වහ වහාම දෙමාපියන්ට ඇමතුම් ලබාදෙමින් තරඟකාරියන් ඉවත් කර නොගන්නා ලෙස පින්සේන්ඩු විය.

කෙසේ හෝ තරඟකාරියන් ඉවත්කර ගැනීම නවතාගන්නට සංවිධායක කමිටුව සමත් වූවද, එතෙක් ස්ටැටන් අයිලන්ඩ්හී ඉතා සහයෝගයෙන් සිටි ලාංකිකයන් අතර විරසක තත්වයක් වර්ධනය වන්නට පටන් ගෙන තිබිණි. අවසාන ජයග්‍රාහිකාව කවුරුන්දැයි සියළු දෙනා දැන සිටියහ. ඒ වෙනුවෙන් සංවිධායක කමිටුවේ සමහර සංවිධායිකාවන් ලබාගත් මුදල් ප්‍රමාණය පවා ඔවුන් දැනගත්හ. සංවිධායක කමිටුව තුලද එකාට එකාට රහසින් අල්ලස්ගත් බවට සාක්ෂි එමටය.

ජයග්‍රාහිකාව සංවිධායක කමිටුවට දී තිබූ ජීව දත්ත තොරතුරු පවා අසත්‍යය බවද කියැවේ. (ලංකාවේ පැවැති විවාහක රෑ රැජන තරඟයකදීද මෙවැනි අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධව විශාල කලබගෑනියක් ඇති වූ බව නොරහසකි.)

ගුටිකෙළියට හේතුවූ නිමිත්ත මෙසේය. පැවති උත්සවයෙන් අනතුරුව තරඟය පුරා සිදුවූ දේ දන්නා එක් තරුණයෙක් ජයග්‍රාහිකාව ඔහු පසු කර යන විට අපහාස වචනයක් කියන ලදි. ඒ සමගම ජයග්‍රාහිකාවගේ සොහොයුරා, පියා, පෙම්වතා ඇතුළු කිහිපදෙනෙක් ඔහුට තඩි බාන්නට විය. තරුණයාගේ මිතුරන් සහ ඩීල් නිසා කලකිරීමට පත්ව සිටි තවත් අය ජයග්‍රාහිකාවගේ පවුලේ අයට පෙරලා පහර දෙන්නට විය. උත්සව ශාලාවේ ආරක්ෂක අංශය තත්වය පාලනය කර පොලිසියට දැනුම් දෙන ලදි. තරඟය පුරාම ඇතිවූ ඩීල්, අසාධාරණ තීන්දු තීරණ මෙම තත්වය ඇතිවීමට හේතුව බව ස්ටැටන් අයිලන්ඩ් හී කාටත් නොරහසකි. නමුත් සංවිධායකයන් දැන් පවසන්නේ එම තත්වය තරඟයෙන් පසුව ඇතිවූ තත්වයක් බවයි.

එසේම සංවිධායක කමිටුව තරඟකාරියන්ගේ දෙමාපියන් සූම් රැස්වීමකට එක්කරගත්හ. එහිදී තරඟය තුල වූ කිසිදු කරුණක් ප්‍රසිද්ධ නොකරන ලෙසට දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියහ. නමුත් එක් අහිසංක මවක් වැඩමුළු වලදී සිදුවූ අසාධාරණයක් ගැන කථා කරන විටම ඇයට පරුෂ ලෙස බැණ වැදී ඇයව නිහඬ කරවන ලදි. පසුව සියළු මව්වරු සූම් රැස්වීමෙන් බැහැර විය.

නිව්යෝර්ක් නුවර ශ්‍රීලාංකීය ඩයස්පෝරාව ඉතා සහයෝගයෙන් දිවි ගෙවූහ. මෙම තරඟය නිසා එහි ලාංකීකයන් දැන් විරසක වී ඇත. පිල් බෙදී ඇත. තරඟකාරියන් ඉතා කලකිරීමට පත්ව ඇත. චන්දිමාල්ලා පැතිරූ දුඟද සහ විෂබීජ තවත් චිරාත් කාලයක් ස්ටැටන් අයිලන්ඩ් හී පවතිනු ඇත.

කෙසේ වුවත් අවසානයේදී ලංකාවේ නාමයට විශාල කැළැලක් පමණක් ඉතිරි කල තවත් එක් “ඩීල් තරඟයක්” බවට එය පත්ව තිබිණි. චන්දිමාල් සහ කල්ලිය මෙයට පෙර විවාහක රෑ රැජින තරඟයේදී ලංකාවට ගෙන ආවේ අපකීර්තියකි. එහිදී සාධාරණ ලෙස ලද ලෝක විවාහක රූ රැජනගේ කිරුළ පවා ලංකාවට අහිමි විය. චන්දිමාල්ලා ලංකාවට ගෙන එන්නේ අපකීර්තියක් විනා වෙන කිසිවක් නොවේ.

ඔවුන්ගේ මඬිය තරකරගැනීමට ඕනෑම කුණු වැඩක් කරන්නටත්, දැන් දැන් එම තක්කඩිකම ලාංකීය ඩයස්පෝරාව වෙත ගෙන යන්නටත් පටන් ගෙන ඇත. මෙම තක්කඩිකම් නැවැත්වීම විදෙස්ගත ලාංකිකයන්ගේ වගකීමකි. ඇත්තටම නිරූපණ ක්ෂේත්‍රයට ආදරය කරන නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ වගකීම වනුයේ මෙවැනි තක්කඩින්ට පැජන්ට් ෂෝ පැවැත්වීමට ඉඩ නොදීමය.

Leave a Reply

Your email address will not be published.