ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය හමුවේ රට යථා තත්වයට පත් කර දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීම වහ වහා සිදු කළ යුතු ඉතා හදිසි තත්වයක් බවට පත්ව තිබේ.
එහෙත් මේ වන තුරුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කල් මරමින් සහ තමන්ට ලැබෙන ගොඩේ ප්‍රමාණය ගැන ඒක පාර්ශ්වික තීන්දු තීරණ වල සිරව සිටී. එකිනෙකා අනෙකුන්ට ආරාධනා කරමින් සිටින්නේ තමන්ගේ නායකත්වය පිළිගෙන තමන් යටතට එන ලෙසය.
එසේම ඒ වෙනුවෙන් අනෙක් පාර්ශ්ව දිනාගැනීම වෙනුවෙන් රට මුහුණ දී තිබෙන බරපතල අර්බුදකාරිත්වය නොසලකා කල් මැරීම සිදු කරමින් තිබේ. මේ කල් මැරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය ඉවත් වීමේ සාධකය පාවිච්චි කරමින්ය. ජනාධිපති ගෝඨාභය ඉල්ල අස්වීම හෝ ඔහුව ඉවත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම වේදයක් ඔස්සේ සිදු කිරීම කඩිනමින් කළ හැක්කක් නොවේ. එයට යම් කාලයක් අවශ්‍යය. එසේම ඉල්ලා අස්වීමට කැමැති වූවත් ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාට යම් කාලයක් ලබා දීම විය යුතුව තිබේ. ඔහුගේ ජීවිත ආරක්ෂාව සහ මෙරටින් පිටවීම සම්බන්ධයෙන් හෝ වන යම් වැඩ පිළිවෙලක් සකසා ගැනීමවත් විය යුතුව තිබේ. මේ සඳහා ඔහුට කාලයක් ලබා දිමට සිදු වෙනු ඇත.
හදිසියේම ඔහු ඉවත් වීම සිදු වීම මඟීන් මේ වන විට පවතින අරාජකත්වය තව දුරටත් වර්ධනය වීමක් මිස ඉන් යහපතක් වීමේ ඉඩ කඩ ඉතා අඩුය. ජනාධිපතිවරයාගේ ඉවත් වීමට ප්‍රථමයෙන් කවර හෝ ආණ්ඩුවක් පිහිටුවා අගමැති සහ ඇමැති මණ්ඩලයක් පත් කර රටේ දේශපලන ස්ථාවරත්වය තාවකලිකව හෝ ඇති කිරීම විය යුතු අතර එය විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් සියලු දෙනාගේ වගකිමක් විය යුතුව තිබේ.
හිටපු අගමැතිවරයා ඉවත් වී දැන් පැය 48 කට වඩා ඉක්ම ගොස් ඇත. රටකට මෙය විශාල කාලයකි. තව දුරටත් මේ පැය ගනන්, දවස් ගනන් දීර්ඝ වීම රට අනතුරට පත් වීමේ වේගය වැඩි කරයි.
එසේම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට පාර්ලිමේන්තුව අසමත් වේ නම් ජනාධිපතිවරයාට සිදු වන්නේ තමන් සතුව තිබෙන විධාකයක බලතල ප්‍රකාරව රට තවදුරටත් ඔහු යටතේම තබා ගනිමින් රජයේ සියලු මර්මස්ථාන මිලිටරි යටත් කිරීමකට ලක් කර පාලනය මෙහෙය වීමය. එවැනි තත්වයක් යටතේ රටේ ක්‍රියත්මක වනු ඇත්තේ සාමාන්‍ය නීතිය නොවිය හැකිය.
එවැනි අධිකාරී බලයක් සහිත පාලනයක දී ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බුක්ති විඳීමේ හැකියාවන් සමස්ථ පුරවැසියාටම අහිමි වීම විය හැකිය. තුවක්කුව ඉදිරියේ සෑම පුරවැසියකුම යටත් වැසියකු බවට පත්වීම අනිවාර්යයක් වන අතර ඊට එරෙහිව වන ප්‍රතික්‍රියාවන් තුවක්කුවෙන්ම පාලනය කෙරෙනු ඇත.
මේ තත්වයන්ට එරෙහිව විපක්ෂ දේශපාලන කණ්ඩායම් කවර ක්‍රියමාර්ගයක් ගනු ඇතිදැයි කිව නොහැක.මේ වන විට පෙන්වා ඇති දියාරු , අදේශපලනික හා අවස්ථාවාදී ක්‍රියාකාරිත්වයන් මත ජනතාවට ඔවුන්ගේ පැත්තෙන් සහයක් ලැබේද සැක සහිතය. එසේම අරගලකාරී ප්‍රවේශයක සීටින තරුණ ප්‍රජවට කළ හැකි දේ ද අවිනිශ්චිතය.ගාලුමුවදොර ප්‍රමුඛ කරගෙන ගෙන යන අරගලය දේශපාලනික වශයෙන් නොමේරු සහ අසංවිධාන්තමක තත්වයන්ගෙන් යුක්ත වීම මත ඒ විසුරුවා හරින තැනකට පත් විය හැකිය. එහෙත් තැන තැන සිවිල් කළකෝලහල ඇති විය හැකිය. ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමුවීම දකින්න සිදුවනු ඇත.මේවා තිරස්චීන ලෙස මර්දනයට ලක්නොවේ යැයි කිව නොහැක.
වැදගත්ම දේ එවැනි මිලිටරි පාලනයක් හමුවේ මේ වන විට අර්බුදයට ගොස් තිබෙන රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විසඳුමක් ඉදිරිපත් කළ හැකිද යන්නය.මිලිටරි බලහත්කාරිත්වයක් යටතේ ජාත්‍යන්තර ප්‍රජාවගේ අනුමැතිය කිසිසේත් හිමි නොවන තැනකට පත් විය හැකිය.රටට සම්බාධක පවා එලල් විය හැකිය.මේ සමඟ රටේ අර්බුද තව දුරටත් තිව්‍ර වී කුමකින් කුමක් වේවිදැයි කිසිසේත්ම අනාවැකි කිව හැකි නොවේ.
මිලිටරි පාලනයන් ලොකේට අලුත් දේවල් නොවේ. එහෙත් මිලිටරි පාලනයකින් ගොඩ ගිය කිසිදු රටක් නැත.යම් මොහොතක රටත් විනාශකරගෙන ඒම පාලනයන් විනාශ වේ. සම්පත් හිඟ ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයකදී ලෝකයෙන් හුදකලා වී මේ රටට පවතින්නට නොහැක. සිය රට දේ සිරි සැප දේ කියමින් අඩුතරමින් වවාගෙන කන්නවත් හැකියාවක් මෙම මොහොතේත් නැති විට මිලිටරි පාලනයක් තුළ සිදුවිය හැකි ඛේදවාචකය ගැන යම් චිත්‍රයක් මවා ගත හැක.
කොහොම නමුත් අවසන් විසඳුම ලෙස මිලිටරි පාලනයක් යෝජනා කිරීම ගැන මේ වන විටත් යම් සාකච්ඡාවක් සිදුව තිබෙන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එහෙත් ඒ් සම්බන්ධයෙන් රජයේ ඉහළම නිලධාරීන්ගෙන් ලැබුණු අයහපත් ප්‍රතිචාරයන් මත දැනට මෙම යෝජනාව හකුලා ගෙන තිබෙන බවත් දැන ගැනීමට තිබේ. එය දැනට අස්වැසිල්ලක් වුව එතැනින් ඉදිරියට යෑම සිදුවනු ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගන්නා තීරණය මතය.
මේ නිසා අරගල කරුවෝද ජනතාවද මේ මොහොතේ බල කර සිටිය යුත්තේ කුමන හෝ ආණ්ඩුවක් පිහිටුවාගෙන මිලිටරි කරණයකට යෑමේ අවස්ථාව ව්‍යවර්ථ කරන ලෙස සියලු විපක්ෂ බලවේග වලින් ඉල්ලා සිටීමය. කෙටි කාලයක් සඳහා යම් ආණ්ඩුවක් පිහිටුවා රටේ දේශපාලනය ස්ථාවර කරගෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වහා කළ යුතුය. ජනාධිපති ගෝඨාභය යනකම්ම ඉන්නවා කියා තවත් කල් බලා සිටින්න කාලය ඉතුරුව නැත.