සමනලයෝ ද කම්කරුවෝය, වෘත්තිකයෝය, ආර්ථිකයට දායක වෙන පුරවැසියෝය.

සමනලයෝ ද කම්කරුවෝය, වෘත්තිකයෝය, ආර්ථිකයට දායක වෙන පුරවැසියෝය.

ජාත්‍යන්තර කම්කරු දිනය පසු ගිය දා පහු වුනා. මැයි දිනයට මේ පෝස්ටුව ලියන්න හිටියත්, වෙනත් වැඩ නිසා ලියන්න ලැබුනේ නැහැ.
රටේ ආර්ථික ප්‍රශ්න දැන් උග්‍ර වෙලා. බඩු මිල දිනෙන් දින ඉහළ යනවා. සමහරුන්ගෙ රැකියා අහිමි වෙලා. තවත් කොටසකට ආදායම අඩු වෙලා.
තමන්ගෙ එදිනෙදා වැඩවලටවත් අවශ්‍ය වියදම් කර ගන්න බැරි තත්වයකට රට පත් වෙලා ඉවරයි.

කම්කරු දිනය වෙනදාටත් වැඩිය මේ නිසා තදටම දැනුනා. මේ තත්වය ලෙස්බියන්, සමරිසි, ද්විලිංගික, සංක්‍රාන්ති සමාජභාවී, කුයර්, නච්චි, පොXන (LGBTIQNP+) ප්‍රජාවටත් එක සේ බලපානවා වාගේම LGBTIQNP+ ප්‍රජාවට බලපාන සුවිශේෂී කම්කරු අයිතිවාසිකම් ගැටලු ගණනාවක් ද තියෙනවා. ඒවා ගැන ලංකාවේ තවමත් නිසි සාකච්ඡාවක් සිදු වී නැහැ. තමන්ගේ අනන්‍යතාවය නිසා රැකියාවලට තෝරා නොගන්නා, තෝරා ගත්තත් තමන්ගේ ශ්‍රමය විවිධ අයුරින් සූරා කෑමට ලක් වෙන, වැඩ කරන ස්ථානය තුළ වෙනස්කම්වලට ලක්වීමට, වෛරී කතාවනට, සමච්චලයට සහ කටකතාවලට ඉලක්ක වීමට සහ රැකියා අහිමිවීමට ලක් වෙන LGBTIQNP+ ප්‍රජාවේ කතන්දර ඉතාම සුලබයි. ඒත් මේවා බොහොමයක් පොදු සමාජයේ සාකච්ඡාවට ලක් නොවන, කම්කරු අයිතිවාසිකම් කතිකාවත තුළ පවා අඩු අවධානයකට ලක් වෙන ගැටලු වෙනවා. අපි අද කතා කරන්නේ ඒ ගැනයි.

0️⃣1️⃣ සියලුම දෙනාට රැකියාවක් කිරීමට අයිතිය ඇත. රැකියාවක් නිදහසේ තෝරා ගැනීමට, රැකියාව කිරීමේ දී සාධාරණ සහ වාසි සහගත තත්වයන් තිබීමට, විරැකියාවෙන් ආරක්ෂාවීමට අයිතිය ඇත.
0️⃣2️⃣ සියලුම දෙනාට, වෙනස් කොට සැලකීමෙන් තොරව සමාන වැඩ සඳහා සමාන ගෙවීමක් ලැබීමට අයිතිය ඇත.
0️⃣3️⃣ මිනිස් අභිමානයට ගැලපෙන වටිනාකමක් ලැබෙන පරිදි තමන්ගේ සහ තමන්ගේ පවුලේ පැවැත්ම සහ ආදායම සහතික කරන පරිදි රැකියාවක නියුතු සෑම කෙනෙකුටම සාධාරණ සහ වාසි සහගත දීමනාවක්, අවශ්‍ය නම් අනෙකුත් සමාජ ආරක්ෂණය ලැබිය යුතුය.
0️⃣4️⃣ සෑම කෙනෙකුටම වෘත්තීය සංගම් පිහිටුවීමට සහ ඒවාට එකතු වී තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමට අයිතියක් තිබිය යුතුය.
– එක්සත් ජාතීන්ගේ විශ්ව මානව හිමිකම් ප්‍රකාශනය, 23 වැනි වගන්තිය


බොහෝ වෙලාවට මේ අයිතිවාසිකම් ලංකාවේ බොහෝ දෙනෙකුට හරිහැටි ලැබෙන්නේ නැහැ. ඒ අතර LGBTINP+ ප්‍රජාවට විශේෂයෙන්ම රැකියාවලට අදාළ අයිතිවාසිකම් ගණනාවක් අහිමි වෙනවා.

🍎 ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන පැතැලි ආකල්ප නිසා රැකියාවලට තෝරා නොගැනීම සහ රැකියා අහිමි වීම

🍆 සම්මුඛ සාකච්ඡාවලදී වෙනස්කම්

රැකියාවලට බඳවා ගැනීමේ දී ගැහැණු පිරිමි හැසිරිය යුතු ආකාරය ගැන ඇති පටු අදහස් නිසා LGBTINP+ පුද්ගලයන් සම්මුඛ පරීක්ෂණයෙන්ම කපා දැමූ අවස්ථා බොහොමයක් තියෙනවා. එසේම ඔවුන්ගේ ලිංගිකත්වය ගැන දැන ගන්නට ලැබුනොත් වෙනස්කම් කරන අවස්ථා ද තියෙනවා. සම්මුඛ පරීක්ෂණවලදී රැකියාවට අවශ්‍ය සුදුසුකම් සාකච්ඡාවට ගන්නවා වෙනුවට සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ සමාජභාව සංක්‍රාන්තිය ගැන පමණක් ප්‍රශ්න අසා, “ඔයාට පස්සෙ දැනුම් දෙන්නම්” කියා රැකියාවට නොගෙන සිටීම බොහෝ සංක්‍රාන්ති පුද්ගලයන් අත් දැක තියෙනවා. ඒ මදිවාට LGBTINP+ පුද්ගලයන් කිසියම් මැජික් වස්තුවක් පෙන්නනවා මෙන් මුලු කාර්ය මණ්ඩලයටම ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි කර අපහසුතාවයට ලක් කිරීමත් සිදු කළ අවස්ථා එමටයි.

🍆 රැකියාව කිරීමේ දී සිදු වෙන වෙනස්කම් සහ හිරිහැර

රැකියා ස්ථානය තුළදී LGBTINP+ පුද්ගලයන් විවිධ වෙනස්කම්වලට සහ හිරිහැරවලට ලක් වෙනවා. මේ අතරට වාචික හිරිහැර, මානසික හිරිහැර,කායික හිරිහැර, ලිංගික හිරිහැර, ව්‍යුහාත්මක ගැටළු සහ වෙනස් කොට සැලකීම් තිබෙනවා.

🟢 වාචික හිරිහැර

බොහෝ LGBTINP+ පුද්ගලයන්ගේ ලිංගිකත්වය සහ සමාජභාවය මත ඔවුන් විහිලුවට සහ සමච්චලයට ලක් කිරීම සිදු වෙනවා. ඔවුන්ගේ ලිංගිකත්වය හෝ අඳින පළදින ආකාරය හෝ ගැහැනු පිරිමිකම ප්‍රකාශනය කරන ආකාරය සම්බන්ධයෙන් වාචික හිරිහැරවලට ලක් වීමට සිදු වෙනවා. මේවා නිසා ඔවුනට පාඩුවේ රැකියාව කර ගෙන යාමට ඇති නිදහස අහිමි වෙන අතර, මේ නිසා රැකියා ස්ථානවල වැඩ කිරීමට සුදුසු පරිසරයක් නොතිබීමට ඉඩ තිබෙනවා.

🟢 මානසික හිරිහැර

සියලු ආකාරයේ හිරිහැර මානසිකතවත් බලපානවා. ඒ වගේම වචනවලින් හෝ කායිකව නොවන ආකාරයේ විවිධ වෙනස්කම් කිරීම්, ඉඟි බිඟි හෝ වෙනත් එවැනි ක්‍රියා හරහා කරන හිරිහැර තිබෙන්නට පුලුවන්.

🟢 කායික සහ ලිංගික හිරිහැර

LGBTINP+ පුද්ගලයන්ට වැඩ කරන ස්ථානවලදී කායික සහ ලිංගික හිරිහැර, ඇතැම් විට පහර දීම්, කෙනෙකුගේ කැමැත්ත නොවිමසා ශරීරය මිරිකීම හෝ අතපත ගෑම, ඔවුන් ලිංගික භාණ්ඩයක් යැයි සලකමින් ලිංගවාදී වාචික හිරිහැර හෝ වෙනත් කායික හිරිහැරවලට ලක් කිරීම සිදු විය හැකියි.

🟢 ඩිජිටල් අවකාශවල හිරිහැර

ඒ වාගේම ඉහත සඳහන් කළ හිරිහැර ඩිජිටල් අවකාශ හරහා ද සිදුවිය හැකියි. සමහරුන්ට කාර්යාලයේ තමන් සමග සේවය කරන අය හෝ තමන්ගේ ජ්‍යෙෂ්ඨයන්, කළමණාකරුවන් විසින් කරදරකාරී ඊමේල් පණිවුඩ, ටෙක්ස්ට් පණිවුඩ, රූප, වීඩියෝ වැනි දෑ එවීම, සමාජ ජාලා හරහා සිදුවන හිරිහැර ආදිය ගණනාවක් ද තියෙනවා. මේවා LGBTINP+ පුද්ගලයන්ට පමණක් සිදු වෙනවා නොෙවයි. හැබැයි රැකියා ස්ථානවලට අදාළ අයගෙන් සිදුවෙන මෙවැනි හිරිහැරවලට බොහෝ විට ස්ත්‍රීන් සහ LGBTINP+ පුද්ගලයන්ට වැඩිපුර මුහුණ පෑමට සිදු වෙනවා.

🟢 ශ්‍රම සූරාකෑම, උසස්වීම්, පඩිවැඩිවීම් ආදිය නොලැබීම සහ මානව ගරුත්වයෙන් යුතුව නොසැලකීම්, ව්‍යුහාත්මක ගැටළු සහ වෙනස් කොට සැලකීම්

LGBTINP+ පුද්ගලයන්ට බොහෝ විට රැකියා ස්ථානයේ තමන්ට හිමිවිය යුතු මානව ගරුත්වය හිමි නොවන අවස්ථාව තිබෙනවා. සමහර විට ඔවුන්ගේ අදහස් වැදගත් යැයි නොසැලකීම, ඒ අදහසම වෙනත් කෙනෙකුගෙන් පැමිණිවිට අගය කිරීම, උසස්වීම්, පඩි වැඩිවීම් සහ රැකියාවට අදාළ වෙනත් හිමිකම් ලබා දීමේ දී සිදු කරන වෙනස්කම් වාගේම, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට වැසිකිළි භාවිතාවේ දී සිදුවන වෙනස්කම් වැනි ගැටළුත් මේ අතර තියෙනවා. සමහර ගැටළු ඇත්තටම ගැටළුවක් ද නැත් ද කියන එක බොහෝ දෙනෙකුට පෙනෙන්නේ නැහැ. ඒ ගැටළුවේ පරිමාණය දන්නේ ගැටළුවට මුහුණ දෙන අයයි. LGBTINP+ ශ්‍රමිකයන්ට තමන්ගේ අනන්‍යතාවය ගැන කතා කිරීමට ඉඩ කඩක් නැති නිසා ඔවුනට වැඩ කරන ස්ථානයේ ඇති වෙන ගැටළු ගැනත් බොහෝ දෙනෙක් දැනුවත් නැහැ.

ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නට නම් ඒ ගැන අපි කතා කළ යුතු වෙනවා. පොදුවේ වැඩ කරන ස්ථානයක් කියන්නේ අයිතිවාසිකම් සුරක්ෂිත වෙන, මානව ගරුත්වය ආරක්ෂා වෙන තැනක් වීම, එම රැකියා ස්ථානයේ වැඩ කරන අය සතුටින් සිටීමටත්, රැකියාවේ ඵලදායිතාවය වැඩි වීමටත් හේතුවක් වෙනවා. ඒත් අපේ රටේ බොහෝ රැකියා ස්ථාන හිමිකරුවන් සහ කළමණාකරුවන් කම්කරු අයිතිවාසිකම් දකින්නේ බොහෝ විට ප්‍රශ්නකාරී දෙයක් විදියටයි. බොහෝ රැකියා ස්ථානවල කම්කරු අයිතිවාසිකම් සංගමයක් තබා, සුබසාධක සමිතියක්වත් කාර්ය මණ්ඩලවලට පිහිටුවීමට නොදෙන අවස්ථා තිබෙනවා. මේ ආකල්පය වෙනස් විය යුතු බව අපේ හැඟීමයි. ඒ වගේම දැනට පවතින කම්කරු සංගම් තුළ පවා LGBTINP+ ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ගැන කිසිම කතා බහක් නැති බවක් පේනවා. ඇතැම් විට මේවාට වඩා අපිට ප්‍රශ්න තියෙනවා යන්න සමහරු කල්පනා කරනවා විය හැකියි. ඒත් මා ඉහත මතු කර ඇති ගැටළු දිහා බැලුවොත් ඔබට පෙනේවි, මේවා LGBTINP+ පුද්ගලයන්ට පමණක් සීමා වෙන ගැටළුම නොවන බව. එසේ වුවත් මේ ප්‍රශ්න ඔවුනට කොයිතරම් නරක විදියට බලපානවා ද යන්නත් ඔබට තවදුරටත් බැලුවොත් පෙනේවි.

දමිත් චන්දිමාල්
සමනල පුරවැසියෝ
2022 මැයි 05

Leave a Reply

Your email address will not be published.