මහා අපරාධකරුවකු ජනාධිපති පුටුවේ වාඩිකර තබා ගතයුතුද?

මහා අපරාධකරුවකු ජනාධිපති පුටුවේ වාඩිකර තබා ගතයුතුද?

මේ අර්බුද මම හදපු අර්බුදයක් නොවෙයි යනුවෙන් ජනාධිපතිවරයා පැවසුවේ පසුගිය වතාවේ ජාතිය අමතමිනි. ඒ ඇමැතිල්ලෙන් පසුව මේ වෙන විට සියලු අර්බුධ තමන් විසින් හදපුවාය කියන තැනට ජනාධිපතිවරයාට සිදු ව තිබේ. රසායනික පොහොර තහනම් කරමින් නටපු කාබනික පොහොර විගඩම. අයි එම් එෆ් නොයෑමට තීරණය කිරීම, ලක්ෂ ගනනින් රජයේ රැකියා ලබාදීම, ඔහුට මේ කතාව තුළදී මතක් වූ පෙර වැරදි කිහිපයකි. ඩොලරයේ අගය හිරකරගෙන තබා ගැනීම, ආනයනය තහනම් කිරීමත්, කෙලවරක් නැතිව සල්ලි අච්චු ගැසීමත් වත්මන් අර්බුදයේ ආසන්න ගැටලුය. මේවට අනුමැතිය දුන්නෙත් මේ ජනාධිපතිවරයාමය. ඔහු ඒ වෙනුවෙන් සමාව අයැදීමක් කර තිබේ. එහෙත් එතරම්ම සරලව මෙය සැලකිය හැකි නොවේ.

බරපතලම ප්‍රශ්නය තිබෙන්නේ වරදකට සමාව ඉල්ලුවාම සමාව දෙන එක දේව ගතියක් කියා කිව්වාට ජනාධිපතිවරයා අතින් සිදුව තිබෙන්නේ එහෙම සමාව දිය හැකි පොඩි පොඩි වරදවල් නොවේ. ඔහු සෙල්ලම් කළේ මිලියන 22 ක ජනතාවගේ ජීවිත සමඟය. ඉපදෙන්න සිටින පරම්පරාව සමඟය. රටක අනාගතය සමඟය. අද රට ඉතිහාසයේ නොවූ විරූ ඛේදවාචකවක් කරා ගෙන ගොස් තිබෙන්නෙ ජනාධිපතිවරයාගේ හිතුවක්කාර තීන්දු තීරණ නිසාය. අපි තමයි හොඳටම කළේ කියමින් මේ වැරදි තීන්දු තීරණ ගත්තේ ඒවා සම්බන්ධ විශේෂඥයන් දිගින් දිගටම වරද පෙන්වා දෙමින් තිබිදීය. ඒ උගතුන්ට, වෘත්තිකයන්ට ගැරහුවා මිසක ඊට ඇහුම්කම් දීමේ පරිචයක්වත් ඔහුට තිබුණේ නැත.

මෙහිදී මතක් කළ යුතු අනෙක් වැදගත් කාරණය නම් කොවිඩ් වසංගත තත්වය හමුමේ මේ ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරයය. රෝගීන් 28 දෙනෙකු වාර්තා වී තිබුණු වෙලෙත් රට වහන්නෙ මොකටදැයි අසමින් වහසි බස් දොඩමින් රෝගය ව්‍යාප්තවන්නට ඉඩ හැරියේ මේ ජනාධිපතිවරයා.. වසංගතය මර්දනය සඳහා ගත් සියලු පියවරයන් ගත්තේ ඒ විනාශය සිදුවෙන්න ඉඩ හැරලාය. 17,000 ක ජනතාවකට නිකරුනේ වසංගතයට ගොදුරු වී මැරෙන්නට සිදු වූයේ මේ ජනාධිපතිවරයාගේ නොදන්නා කමේ තීන්දු තීරණ වල බල මහිමය නිසාය. මේ වසංගත මරණ සියල්ල මිනීමැරුම් වන්නේ අනතුරු හැඟවීම් තිබියදී, වලකාගත හැකිව තිබියදී, විසඳුම් තිබියදී, ඒ නොතකා කටයුතු කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දු නිසාය.

පොහොර විගඩම නිසා මේ වන විටත් ඇතිව තිබෙන ආහාර හිඟය තව කීදාහකට බඩ ගින්නෙ, ලෙඩවී මැරෙන්න වෙයිද දන්නෙ නැත. බෙහෙත් හිඟ නිසා රෝහල් වල් ලෙඩ වාට්ටු, මෝචරි බවට පත් වෙන දිනය වැඩි ඈතක නැත. විදේශ විනිමය අර්බුදය පැමිණීමට නියමිත බව ආර්ථික විශේෂඥයන් කරුණු සාධක ඇතිව පෙන්වා දුන්නේ මීට වසරකටත් කලින්ය.. අපි නම් මළාට අයිඑම්ෆ් යන්නෙ නැත.. ඔකුන්ගේ කොන්දේසි වලට යට වෙන්නෙ නැතය… ඕවා බටහිර කුමන්ත්‍රණය… අපිට අපේ ආර්ථික ක්‍රමවේදයන් තියෙනවා රට ගොඩ නගන්න… ආදී තකතීරු කතා වපුරමින් රටම කාබාසීනියා වෙන තැනට තල්ලු කළේ මේ ජනාධිපතිය. අද වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න උපදෙස් ගැනීමට පත් කළ ආර්ථික විශේෂඥ කමි‍ටුවේ සාමාජිකයන් පවා මීට මාස හය හතකට කලින් අයි එම් එෆ් යන ලෙස ජනාධිතිවරයා පෞද්ගලිකවම මුණ ගැසී යෝජනා කර තිබුණද ඔහු එව ප්‍රතික්ෂේප කර තිබුණේය. අද එහි යන්නේත් රටෙන්ම එල්ලවූ බලපෑම හමුවේය.

තවත් මෙවැනි ලයිස්තුවක්ම ලිවිය හැකිය. තව මතක් කළ යුතු කාරණයක් නම් ජනධිපතිවරයා ගම රට සංවර්ධනයට කියා මහා පරිසර සංහාරයකට ලැහැස්ති වුණ බව. එය මතක තිබිය යුතුය. යන්තම් මිනිස්සු පරිසරවේදින් කෑ ගසා ඒ යම් තරමකට නවතාගැනීමට සමත් නොවෙන්න අද බොන්න වතුර ටිකවත් මේ දූපතේ නැත.

මෙහෙම ජනාධිපතිවරයා තමන් කළ වැරදි වලට සමාව ඉල්ලා අතපිහ දාගෙන නැවත පු‍ටුවේ වාඩි වෙන්නෙ කෙසේදැයි තේරුම් ගත නොහැක. මහා අපරාධකාරී තීන්දු තීරණ රැසක් අරගෙන මහා අපරාධයක් සිදුකර, ඔව් ඒවා මම තමයි කළේ කියමින් ජනාධිපති පු‍ටුවේ වාඩි වෙන්නට තරම් නින්දිත තත්වයට ඔහු පත්ව තිබේ. ශිෂ්ඨ සම්පන්න රටක නම් වගකිව යුතු බලධාරීන් නිලධාරීන් කළ පළමු වැ‍රැද්දෙන්ම තනතුර අත්හැර ඉල්ලා අස්වීම සිදු කරයි. තමන්ගේ වරදට එරෙහි නීතිමය තත්වයනට මුහුණ දෙයි. දඬුවමට යටත් වෙයි. එහෙත් මේ තවම ලංකාවය..

ඉල්ලා අස්වීම නොවේ නම් මේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන්ම පදනම් කරගෙන ඔහුට එරෙහිව දෝශාභියෝග යෝජනාවක් හෝ ගෙනවිත් ඔහුව ඉවත් කිරීමේ හැකියාවක් පාර්ලිමේන්තුව සතුව තිබේ. ඒ නැතත් ඔහුට එරෙහිව කවරම හෝ නීතිමය පියවරක් ගැනීමෙ හැකියාව පාර්ලිමේන්තුවට තිබේ.

ඒ විපක්ෂය දෙසත් තව ටික දවසක් බලා ඉන්නට සිදුවෙයි. කොහොම නමුත් ජනාධිපතිවරයාම තමන් අසමත් බවත් වරදකරුවෙක් බවත්, (මේ වැරදි අපරාධමය වැරදි ලෙස අර්ථකතනය කළ හැකි වැරදිය. ) පවසා තිබියදී ඔහුව තවදුරටත් මේ රටේ ජනාධිපති පු‍ටුවේ වාඩිකර තබා ගැනීමට මේ රටේ ජනතාව තවත් ඉඩ දීම නම් නොවිය යුත්තකි. ගෝඨා ගෝ හොම් කියන සටන් පාඨයට වඩා සාධාරණ, වඩාත් යුක්ති සහගත සහ අනිවාර්යතාවයක් අද ජනාධිපතිවරයාම ලබා දී තිබෙන විට ඔහුව ඉවත් කිරීම ජනතාව සතු අයිතියකි. එය ව්‍යස්ථානුකූලව හෝ නොවී සිදුවීම තීර්ණය කිරීම අයිතියද ජනතාව සතුවෙයි..මේ රාජ්‍යයේ සියලු දේ ජනතා පරමාධිපත්‍යයට යටත්ය.

මෙහිදී මතු කළ යුතු දේශපාලනික කාරණාව නම් විධායක ජනාධිපතිධුරය පිස්සකු අතට ගිය විට රටකට සිදුවන නස්පැත්තියේ තරම දැන් වත් තේරුම් ගැනිමට හැකිවීමය. මේ අසීමන්තික බලතල සහිත තනතුර වහාම අහෝසි කළ යුතු බව ගැන තව දුරටත් විවාදයක් තිබිය නොහැක.රටේ සමස්ත පුරවැසියාම මේ විධායක ජනාධිපතිධුරය නිසා ඇති පදමට දැන් බැට කා තිබේ. මෙය වහා වෙනස් කිරීමට සියලු දේශපාලන බලවේග දැන් සිටම ක්‍රියාත්මක කළ යුතුය.

ලක්දේශ්

Leave a Reply

Your email address will not be published.