ආයෝජන ඇමැතිධුරයට පත් කෙරුණු ලංකාවේ අංක එකේ ව්‍යාපාරික ධනවතා ලෙස සැලකෙන ධම්මික පෙරේරා, අද මාධ්‍ය හමුවක් තියමින් අගමැති රනිල් වික්‍රමසිංහ එළවා දැමිය යුතු බවට මහා ගර්ජනාවක් කර තිබිණි.
ඇමැති ධම්මික තවම ඇමැතිකමට පත් වී සතියක් ඉක්ම ගියා පමණි. තවම වාඩි වූයේ එක් අමාත්‍ය මණ්ඩල රැස්වීමකට පමණි. ඒ පසුගිය 04 වෙනිදාය.
රජයේ වෙන්නෙ මොනාද? අගමැතිවරයා කරන්නෙ මොනාද ? යන සියල්ල ඔහු මේ සතියට සොයාගෙන තිබිණි. ඒ ප්‍රශ්න ටික ඇමැති මණ්ඩලය තුළ දී සාකච්ඡා නොකර මෙහෙම මාධ්‍ය හමුවක් තියමින් එළියේ කතා කරන්නේ කුමකටද ?
අඩුම තරමින් අමාත්‍ය මණ්ඩල සාමුහික වගකීම කියා දෙයක් තිබෙනවාද යන්නවත් දැනුමක් ධම්මිකට තිබී නැත. මීට මාස කිහිපයකට පෙර ඇමැති සුසිල් ප්‍රේමජයන්තට ඇමැතිකම අහිමි වූයේ ඔහු අමාත්‍ය මණ්ඩල සාමුහික වගකීම කැඩුවාය යනුවෙන් වූ චෝදනාව මතය. ඒ දෙල්කඳ පොළේ දී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් කළ විවේචනයක් පදනම් කරගෙනය.
අද ඇමැති ධම්මික අගමැතිවරයාට එරෙහිව බරපතල චෝදනාවක් සිදු කරයි. ඔහුව වහාම ඉවත් කළ යුතු බවට තර්ජනාත්මකව පවසයි. එසේම ඔහු ජන අරගලයත් සමඟ එකතු වන බවත් කියයි. මෙහෙම ඇමැති කෙනෙකු සමඟ ආණ්ඩු කළ හැකිද?
එහෙත් සුසිල්ට ක්‍රියාත්මක වූ ජනාධිපතිගේ පිළිවෙත ධම්මිකට ක්‍රියාත්මක වෙන පාටක් නම් නැත.
ඒ කොහොම වුණත් ඇමැති ධම්මික අගමැතිවරයාට කරන චෝදනාව වන්නේ ඔහු විසින් ඉදිරිපත් කළාය කියන යෝජනාවකට තවම අගමැතිවරයා ක්‍රියාත්මක නොකර ඒ කඩාකප්පල් කිරීමට කටයුතු කරනවාය , ඔහු ඩොලර් ගේන ව්‍යාපෘති වලට බාධාකරනවාය යනුවෙන් වූ කතන්දර ගොන්නකි.
එහෙත් මේ කියන golden paradise visa යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ පසුගිය මාර්තු මාසයේදීය.
මෙවැනි මුල්‍යමය කරුණු යෝජනාවක් ඉදිරිපත් වූ සැනින් එය අනුමත කර ක්‍රියාත්මක කරන ක්‍රමයක් නැත. එහෙම විය යුතුද නැත. මන්ද ඒ් නව යෝජනාව සමඟ සම්බන්ධ වන, ගැටෙන තැන් රජයේ නීති රීති පිළිවෙත් ආදිය සමඟ විමසා බැලිය යුතු බැවිනි. විශේෂයෙන්ම මෙය විදේශ විනිමය සම්බන්ධ කාරණයක් මෙන්ම විදේශිකයන්ට දීර්ග කාලීන වීසා ලබා දීමගැන කාරණයකි. මේ අනුව ඩොලර් 100,000 ක් දෙන ඕනෑම විදේශිකයකුට වීසා අයදුම් කළ හැකිද? එහි සීමාවන් නීතිරීති ආදිය, රටේ ආරක්ෂාව ආදිය ගැනද සොය බැලිය යුතුය. ඊට අදාල නීති රිති වෙනස් කිරීම් තළ යුතුය. නැතිනම් ලෝක ජාවාරම්කාරයකුට අපරාධකරුවකුට හෝ මෙරටට ඇවිත් ඕනෑම ජෝගියක් නැටීමේ හැකියාව ඇත.
කොහොම නමුත් පසුගිය මාර්තු මස 25 දින ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් golden paradise visa ක්‍රමය පිලිබද නිරීක්ෂණ ලබාදීමට එවකට මුදල් අමාත්‍ය අලිසබ්‍රි ට අදාල කෙටුම් පත ලබාදී ඇත.
එයට අලිසබ්‍රි මහතා නිරීක්ෂණ ලබාදී ඇත්තේ පසුගිය අප්‍රියල් 25 දිනය. ඒ නිරීක්ෂණ අනුව විය යුතු වෙනස්කම් සිදුකරනවාද නැද්ද යන්න අදාල ආයතන වලින් නැවත් විමසීම් සිදු කළ යුතුය. ඒ කොහොම නමුත් මෙම වීසා ක්‍රමයට අයදුම් කිරීමට විදේශිකයන්ට අවස්ථාව උදා කරමින් අදාල වෙබ් අඩවියද ආගමන විගමන දෙපාර්ථමේන්තුව මැයි 30 වනදා විවෘත කර තිබිණි.
මේ අතර මැයි මස මැදභාගයේදී නැවත ආණ්ඩුව වෙස්වී රනිල් වික්‍රමසිංහ අගමැති විය. ඇමැති මණ්ඩලයත් වෙනස්විය. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ධම්මික පෙරේරා පත්වූයේ දැන් සතියකට පෙරාතුවය.
කෙසේ හෝ මෙම නව අමාත්‍ය මණ්ඩලයට මෙම හිටපු ඇමැති අලිසබ්‍රිගේ නිරීක්ෂණ ඇතුලත් යෝජනාවලිය ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ජූලි 04 දින(පෙරේදා) ලබාදී ඇති අතර, මුදල් අමාත්‍ය රනිල්වික්‍රමසිංහ , ජූලි 11 කැබිනට් මණ්ඩලයට සිය නිරීක්ෂණ ලබා දීමට එකඟවී ඇත.
ධම්මික විසින් අද රනිල් පරක්කු කරනවා යැයි චෝදනා කරන ඩොලර් ගෙනෙන යෝජනාවලිය දැන් පවතින තත්වය එයය. මෙය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වීම සිදුවන නමුත් ඒ සඳහා රජයේ පවතින නීතිරීති අනුව කටයුතු කිරීම හෝ නීති රීති වෙනස් කිරීම හෝ සිදුකළ යුතුය.ඒ ගැන මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ එළඹෙන කැබිනට් මණ්ඩලයට දැනුම් දෙනු ඇත.
එහෙත් එතෙක් ඉවසා සිටීමට නොහැතිව ඇමැති ධම්මිකට වැළඳුන කඩි කුලප්පුව කුමක්ද?
මේ කතන්දරය නොදන්නා අයට ධම්මික වීරයෙකු වී ඇත.ධම්මික අරගලකරුවෙක් ද වී ඇත. එහෙත් ධම්මික කළේ අමු තක්කඩි වැඩක් බවත් මෙතන වෙන ගේම් එකක් ධම්මික ගහන බවත් දන්නේ ස්වල්ප දෙනෙකි.
රනිල් අගමැති ධූරයෙන් පන්නා ගැනීමට මේ වන විට සැලකිය යුතු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතී. ධම්මික කියන්නේ එහි ඉත්තෙකි. කොටින්ම ධම්මික කියන්නේ බැසිල්ගේ පිල්ලියක් කීම වඩා නිවැරදිය.
බැසිල් ආණ්ඩුවේ වගකීම උසුලන කාලයේ ඔහුගෙන් ධම්මික සැලකුම් ලබපු හැටි අමුතුවෙන් කිව යුතු නැත. ආණ්ඩුවේ තීන්දු තිරණ නිසා ධම්මිකගේ වත්කම් බිලියන් ගනනින් වැඩි වූ හැටි අමතක නොකළ යුතුය. රාජපක්ෂලා ටයිල් ඒකාධිකාරයක් ඔහුට සකසා දී මෙරට ටයිල් කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් විනාශම කර දැමීම එක උදාහරණයක් පමණි.
ධම්මික මේ රටේ ධනවත්ම ව්‍යාපාරිකයා වෙන්නේ මේ රටේ මිනිසුන්ව වැඩියෙන්ම සූරා කෑමට ලක්කළ ව්‍යාපාරිකයා ඔහු වෙන නිසාය. ව්‍යාපාරික ලාභය පදනම් වන්නේ පාරිබෝගිකයා සූරාකන තරමටය.
ඔහු ලබන ආදායම් වලට නියමිත බදු නොගෙවූ වංචාකරුවෙක් බව ද අද ඔප්පු වී ඇති ඇත්තකි. කැසිනෝ වෙළෙන්දෙකි. භේදයකින් තොරව දේශපාලන පක්ෂ වලට දේශපාලකයන්ට අල්ලස් /සංතෝසම් ලබාදීම ගැන ප්‍රසිද්ධ ව්‍යාපාරිකකි. ජවිපෙ වැනි පක්ෂයක් පවා ඔහුගේ මුදලට යට වූ බව සත්‍ය කතාවකි. ජවිපෙ නායකයන් අදත් පය ගසා ඇවිදින්නේ ඔහු නොමිළේ දුන් ටයිල් මතය. මේ නිසා ඔහුට දේශපාලන විරුදිධාවාදින් එහෙමට නැත. ධම්මික සම්බන්ධ වංචාවක් අපරාධයක් සිදුවූවත් ඒ ගැන මුනිවත රකින පිළිවෙත් අනුගමනය කරන දේශපාලකයන් රොත්තක්ම සිටී.
කොහොම නමුත් රනිල් එළවන වැඩේට ධම්මිකට හවුල් වෙන්න තවත් බරපතල වුවමනාවක් තිබිණි.
ඒ පසුගිය කැබිනට් මණ්ඩලය රැස්වීමටම අගමැති රනිල් ඉදිරිපත් කළ කැසිනෝ ව්‍යාපාරය විධිමත් කිරීමට ගෙන ආ යෝජනාවය.
මෙය අලුත් දෙයක් නොවේ. බොහෝ කාලයක් පෙර (2010) ඇමැති මණ්ඩලය සම්මත කළ පනත් යෝජනාවකි. එහෙත් ඒ් ක්‍රියාත්මක් වී නොමැත. ඒ නිසා රාජ්‍ය ආදායමට එයින් විශාල පාඩුවක් වී තිබිණි. රනිල් යෝජනා කළේ එය ක්‍රියාත්මක කරන ලෙසය. එයට අනුමැතිය හිමි විය. මේ අනුව නව කැසිනෝ බලපත්‍ර පවා නිකුත් කළ හැකිය.
ධම්මික පරළ වුවේ මේ තීන්දුවත් සමඟය. මේ යෝජනාව ක්‍රියාත්මක නොවෙන තැනට වැඩකරන්න පසුගිය කාලයේ ධම්මිකලාගේ මුදල් බලයට හැකි විය. මෙ පනත මඟින් නව කැසිනෝ ව්‍යාපාරවලට ඉඩ සැලසීම මත මසුගිය රාජපක්ෂ සමයේදී ඔස්ට්‍රේලියාවේ කැසිනො රජු ලෙස හැඳින්වූ ජේම්ස් පැකර් නැමැත්තා මෙරට ඩොලර් මිලියන සිය ගනනක් ආයෝජනය කර දැවැන්ත විනෝදාසවාද ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සුදානම් විය. ලේක් හවුස් ඉදිරිපිට බේරේවැවට මායිම් ඉඩමක්ද ඒ් වෙනුනෙන් ලබා ගත්තේය.
එහෙත් ඒ සිදුකිරීමට ඉඩක් ලැබුණේ නැත. එක රැයින් කැසිනෝ වලට එරෙහිව රට පුරා පෝසිටර් වැදීනි. උද්ඝෝෂණ සංවිධානය කෙරිණි. ජවිපෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව දෙවනත් කරමින් කෑ ගැසුවේය. අනුර කුමාර මාධ්‍ය සාකච්ඡා පිට සාකච්ඡා තබමින් මෙයට එරෙහිව කරුණු දැක්වූයේය. කැසිනෝ වලට එරෙහිව විශාල ජන මතයක් ඇතිවිය. අවසානයේ ජනපති මහින්ද රාජපක්ෂට ව්‍යාපෘතිය නොකරන බව කියන්නට සිදු විය. පැකර් අකුලන් ගියේය.
මේ සියල්ල සිදුවූයේ ධම්මිකගේ මුදල් බලයෙනි. ජවිපෙ කැසිනෝ විරෝධයක් පැතිරුවද ධම්මිකගේ රවීගේ කැසිනෝවට අදත් විරුද්ධවන්නේ නැත.තමාගේ කැසිනෝ ව්‍යාපාරය ඔහු බේරාගත්තේ එහෙමය.
මේ හරහා කැසිනෝ ඒ්කාධිකාරයකට වගකියමින් බිලියන් ගනනින් ධම්මික ආදායම් උපයා ගත්තේය.
ඒත් රනිල් ඒ කැසිනෝ ඒ්කාධිකාරයක වැලැක්වීමට කටයුතු කරන්න හදන විට රටට ආදායම් ගෙනෙන්න හදන විට රනිල්ව පන්නා හෝ තමන්ගේ ව්‍යාපාරය බේරා ගැනීමට ධම්මිකට අවශ්‍යව තිබේ. අද ඔහු පැවැත්වූ මාධ්‍ය හමුවේ අර්ථය එයය. හෙට ධම්මික වෙනුවෙන් ජවිපෙ මාධ්‍ය සාකච්ඡාවක් තැබුවද පුදුම නොවිය යුතුය. රනිල්ට අගමැතිකම කරන්න ජනවරමක් නැතැයි , කියන අනුරට ධම්මිකට ඇමැතිකම් තියා මන්ත්‍රීධුරයක් ලබන්න ජනවරමක් නැතැයි කියන්න කට උල් වෙන්නේ නැත.
- කපුටා