ගෝල්ෆේස් අරගලය යනු කිහිපදෙනෙකුන් චෝදනා කරන ආකාරයට තවමත් කාගේවත් අතකොලුවක් නොවන බව අරගලය සමීපව අධ්‍යයනය කිරීමේදී තහවුරු වන්නකි. අනාගතයේදී ද එසේ වීමට ඉඩ නොමැති ලකුණු ද දිනෙන් දින ඉහළ යමින් පවතී. එමෙන්ම එහි ඇති සුවිශේෂිබව සහ ඒ මගින් සමාජයට කර ඇති බලපෑම පිළිබදව සැළකීමේදී එය කිසිවිටෙක නොසළකා හැරිය හැකි එකක් නොවන බවද පැහැදිලි වේ. ඉහත තත්වයන් යටතේ මෙම අරගලය ජයග්‍රහණයකින්ම කෙළවර විය යුතු වන්නේ මන්ද යන්න සාධක කිහිපයක් ඔස්සේ විග්‍රහ කිරීම මෙම ලියමනේ අරමුණය.
01. එකී සාධක අතරින් පළමු සාධකය ලෙස දැක්විය හැක්කේ මේ අරගලය විසින් – මෙරට ඇතිවිය හැකිව තිබූ සමාජ ව්‍යසනයක් වළක්වා තිබීමය. වඩාත් පැහැදිලිව කිවහොත් මේ මගහැර ඇත්තේ ලේ ගලායන ධවල භීෂණයකි. සමාජය පසුගියදා සහ අද දක්වාමත් මුහුණදුන් සහ මුහුණ දෙන අසීරුතා සහ අප්‍රසන්නතා පිළිබදව සැළකීමේදී අසූ නවයක් නිර්මාණය වීමට අවශ්‍ය කරන සාධක ඇති පදමින් සපයන්නට පාලක පැළැන්තිය කටයුතු කර ඇත. විෂය මූල සාධකය එසේ සම්පූර්ණව තිබියදී පවා වඩාත් නිර්මාණශීලීව මනෝමූල සාධකය මෙහෙයවන්නට ඉදිරිපත් වූ මේ ස්වේච්ඡා අරගලකරුවන් විසින් වළක්වා ඇත්තේ අප 88-89දී අත්විදි ධවල භීෂණය පුනරුච්චාරණය වීම බව නිර්ලෝභීව ප්‍රකාශ කළ යුතුය.
එසේ ලේ වැකි අත්දැකීමක් නැවත ලබාදීම වක්‍රාකාරව හෝ වැළැක්වීම වෙනුවෙන් කළගුණ දැක්වීම පිණිස පමණක් වුවද සමාජයක් ලෙස අපට කළ හැක්කේ ගෝල්ෆේස් අරගලය ජයග්‍රහණය කරවීමට අවශ්‍ය උපරිම දායකත්වය ලබාදීම ය.
02. ගෝල්ෆේස් අරගලය ජයගහණයකින්ම කෙළවරවියයුතු වීමට බලපාන දෙවන සාධකය වන්නේ අරගලය දියාරු වී ගියහොත් හෝ ජයග්‍රහණය නොකළහොත් පොදුවේ අරගල සම්බන්ධයෙන් වන ජනතා විශ්වාසය බිදී යාම නමැති අනතුරයි. අයාලේ යන තෙමිච්ච බල්ලන් සේ අද මේ ගුලිගැන්වී සිටින්නේ ඊයේ දක්වාම බුරා පනිමින් ද දඩයම් කරමින් ද තැන තැන පහරමින් ද දුටු දුටු තැනට කකුලක් උස්සමින් ද වීඅයිපී ලේබලය යටතේ හැසිරුණු මහා චණ්ඩි රෑණකි. එවන් රෞද්‍ර චණ්ඩින් රොත්තක් මේ පාලනය වී සිටින්නේ ස්වේච්ඡා සමාජ බලවේගයක නැගිටීම හමුවේ ය.
සමාජ නැගිටීම යනු කෙතරම් බලවත් සංසිද්ධියක් ද යන්න පැහැදිලි කළ හැකි ආසන්නතම උදාහරණය වනුයේ ගෝල්ෆේස් අරගලයයි. මේ අරගලයේ මූලික ශක්තීන් අතර ඇති නිර්පාක්ෂික බව, අවංක බව සහ යුක්තිය උදෙසා කෑමොර දීමේ ස්වභාවය ආදී සියළු වටිනාකම් යළි යළිත් සමාජ ප්‍රගමනය සදහා යෙදවෙනු ඇත්තේ මේ අරගලය ජයග්‍රහණයකින් කෙළවර වුවහොත් පමණි. එසේ නැතහොත් ජනතාව ඒ ශක්තීන් පිළිබදව අවිශ්වාස කරනවා පමණක් නොව නැවත උරගා බැලීමට ද ඉදිරිපත් නොවනු ඇත. එවිට පෙර කී චන්ඩීන් විසින් පෙරටත් වඩා රුදුරු ලෙස යළි සමාජය තම ග්‍රහණයට ගනු ඇති අතර සමාජයක් ලෙස ඉතා අවාසනාවන්ත පැවැත්මකට පමණක් උරුමකරුවන් වනු ඇත.
එසේ අරගල පිළිබද ජනතා විශ්වාසය අහිමිවීම යනු සමාජයක් ලෙස ලැබිය හැකි ඉහළම පරාජය වන බැවින් එය වැළැක්වීම සදහා ද සමාජයක් ලෙස අපට කළ හැක්කේ ගෝල්ෆේස් අරගලය ජයග්‍රහණය කරවීමට අවශ්‍ය උපරිම දායකත්වය ලබාදීම ය.
03. දසත සිට ගලා ආ හුදෙකලා අරගල නම් වූ ජල ධාරාවන්ගෙන් ද ළග ළග ඇද හැළුනු නොයෙක් හැඩයේ ධාරානිපාත වර්ෂාවන්ගෙන් ද ඒකාබද්ධ ව නිර්මාණය වූ ගෝල්ෆේස් අරගලය නම් වන ගංගාව මේ වන විට අතු ගංගා නිර්මාණය කරමින් දසත පැතිරෙන අයුරු දැකිය හැකිය. මේ දසත පැතිරීම හා සමගම අරගලය සතුරන් අතට පත්වීමට ඇති අවස්ථාවන්ද වැඩි වන බව පැහැදිලිය. සතුරන්ගේ න්‍යායපත්‍ර මගින් එවන් අතුගංගා දූෂණය කිරීමට ඇති අවකාශය ද විශාල ය. මීට උදාහරණ නොයෙක් ප්‍රදේශවලින් මේ වන විටත් වාර්තා වෙමින් පවතී. මොවුනගේ ඉලක්කය වන්නේ අරගලය රුධිරයෙන් නැහැවීම ය. ඒ මර්ධනය පහසු වනු පිණිස ය. ධවල භීෂණයකට අවස්ථාව සළසා ගනු පිණිස ය. සතුරා හොදින්ම ජයග්‍රහණය ලබනු හැකි පිටියකට තරගය ගෙන යා හැක්කේ මේ ආකාරයෙනි.
ඒ උත්සාහය සාර්ථක වුවහොත් අප අහිමි කරගනුයේ මේ ලිපියේ පළමු අංකය යටතේ ලබාගත් ජයග්‍රහණයයි. හැත්තෑ එකේ මියගිය ජව සම්පන්න, අවංකඋන් ද අසූ නවයේ මියගිය ජව සම්පන්න, අවංකවුන් ද අද අප සමග නැත. වසර තිහක් පුරා මියගිය ජව සම්පන්න, අවංකවුන් ද අද අප සමග නැත. නමුත් දැන් මරා දැමීම සමස්තයක් ලෙස නතරවීමේ ප්‍රතිඵලයක් ලෙස ඉතිරිව සිටින ජව සම්පන්න, අවංක පරපුර විසින් ගෝල්ෆේස් අරගලය පවත්වාගෙන යන්නේය යන උපකල්පනය අසාධාරණ උපකල්පනයක් නොවේ. භීෂණයකින් තොරව අරගලයක් පවත්වාගෙන යාම සමාජයක් ලෙස ජයග්‍රහණයක් වනවා සේම පාලකයන් ලද පරාජයක් ද වන්නේ ය. තම පරාජයට හේතුවන ඒ “අඩුපාඩුව“ නිවැරදි කරගැනීමට පාලකයන් වහා කටයුතු කරනු ඇත. එනම් සමාජ සංවර්ධනයට දායක විය හැකි නිර්මාණශීලී තරුණ පරපුරක් පවත්වාගෙන යාමේ “කරදරයෙන්“ ගැලවෙන්නට පියවර ගනු ඇත. ඒ අන් කිසි ලෙසකින් නොව මේ පරපුර ද ඝාතනය කිරීමෙනි.
පාලකයින්ගේ ඒ අරමුණ පරදා සමාජ සම්පතක් වන මේ ජව සම්පන්න, අවංක සහ නිර්මාණශීලී තරුණ පරපුර රැකගැනීම පිණිසත්, ධවල භීෂණයක අත්දැකීම යළි සමාජගතවීම වළක්වා ගැනීම පිණිසත් සමාජයක් ලෙස අපට කළ හැකි හොදම දෙය වන්නේ ගෝල්ෆේස් අරගලය ජයග්‍රහණය කරවීමට අවශ්‍ය උපරිම දායකත්වය ලබාදීම ය.
04. ගෝල්ෆේස් අරගලය තම මල්ලේ දමා ගන්නට තැත් කරන්නෝ බොහෝ ය. ඒ මතින් තම ලේ පිපාසය සංසිදුවා ගන්නට කෙළ හලන්නෝ ද බොහෝ ය. අරගලය තම දඩයම කරගන්නට තලු මරන්නෝ ද බොහෝ ය. මේ කවරෙකුගේ න්‍යායපත්‍රය වුව ජයග්‍රහණය කරගත හැකි වනුයේ ගෝල්ෆේස් අරගලයේ මළගම මතිනි. එනම්, ගෝල්ෆේස් අරගලය එහි නියම අර්ථයෙන් ජයග්‍රහණය කළහොත් මේ කිසිවෙකුගේ අරමුණු ඉටු කරගැනීමට අවස්ථාව නොලැබෙනු ඇත.
ජාතික වශයෙන් මේ මංකොල්ලයට උත්සාහ කරන සියලු දෙනාම මේ අර්බුදයේ වගඋත්තරකරුවන් ය. වසර හැත්තෑ හතරක් තිස්සේ ආණ්ඩු කරමින් ද, විපක්ෂයේ හිදිමින් ද, පරිවාසයට ලක්වෙමින් සහ ලක් කරමින් ද, දුරස්ථ පාලකය වෙමින් ද, හවුල් ආණ්ඩු හදමින් ද මේ දේශපාලන තන්ත්‍රයේ ඇණ මුරිච්චි ලෙස කටයුතු කළ සියල්ලන්ම මේ වගඋත්තරකාර ලැයිස්තුවට ඇතුළත් වේ. ඉන් කවර හෝ කණ්ඩායමක්, පුද්ගලයෙක් හෝ කල්ලියක් යළිත් තම සුපුරුදු රගපෑම් සදහා ගෝල්ෆේස් වේදිකාව යොදාගන්නට දරණ උත්සාහය පැරදවිය යුතුය. නොඑසේ නම් සිදුවන්නේ රවුමක් ගොස් යලි මුලටම පැමිණියා සේ යළි සුපුරුදු දූෂකයන්, ඝාතකයන් සහ වංචාකාරයින් අතට රට පත්වීමය.
මේ අනතුර වළක්වාගත හැකි හොදම සහ එකම ක්‍රමය වන්නේ අරගලය ඇදි ඇදී යාම වළක්වා කෙළවර කිරීම ය. කෙළවර කළ යුතු වන්නේ ජයග්‍රහණයෙන් මිස පරාජයෙන් නොවන හෙයින් මේ ඓතිහාසික චෞර ප්‍රජාව පැරදවිය හැකි එකම සහ හොදම ක්‍රමය ලෙස සළකා වුව සමාජයක් ලෙස අපට කළ හැකි හොදම දෙය වන්නේ ගෝල්ෆේස් අරගලය ජයග්‍රහණය කරවීමට අවශ්‍ය උපරිම දායකත්වය ලබාදීම ය.
05. ගෝල්ෆේස් අරගලය හමුවේ තම න්‍යායපත්‍ර ඉටුකරගැනීමට මාන බලනු ඇති තවත් කණ්ඩායමක් වනුයේ ඉන්දියානු සහ චීන ප්‍රමුඛ ජාත්‍යන්තර බල දේශපාලන න්‍යායපත්‍ර ධාරීන් ය. නිදසුනක් ලෙස සිකීම් නම් වූ රාජ්‍යය එක් රැයකින් තම ප්‍රාන්තයක් බවට පත්කරගැනීමට ඉන්දියාව සමත් වූයේ මේ හා සමාන අරාජික තත්වයක් හමුවේ බව අප අමතක නොකළ යුතුය. අනෙක් අතට යුක්රේනය අරබයා රුසියානු මැදිහත්වීම විසින් සපයා ඇති ආදර්ශය මේ අවස්ථාවේ අපව බිය ගැන්විය යුතුව ඇත. ඒ ආදර්ශයෙන් වඩාත්ම පිබිදීමට පත්ව ඇති රටවල් ලැයිස්තුවේ ඉන්දියාවත් චීනයත් යන දෙරටම ඉහළින්ම සිටීම පිළිබදවද අප බියවිය යුතුය. තම ඇමරිකානු හිතවාදය පරයා රුසියාව සමග තෙල් ගණුදෙනු කරන්නට තරමට ඉන්දියාව රුසියන් හිතවාදීවීම විසින් ඒ බිය දෙගුණ තෙගුණ කළ යුතුය. සිකිම් රාජ්‍යයට සිදුවූ ආකාරයේ ව්‍යවස්ථාපිත වරදක් අපට සිදුවීමට අවශ්‍ය මූලික වටපිටාව දැනටමත් සැකසී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වැනි “තලයත්-මිටත් දෙකම කැපෙන ආයුධ“ මේ තීරණාත්මක අවස්ථාවේදී මුවහත් නොකළ යුත්තේත් භාවිතා නොකළ යුත්තේත් එබැවිනි.
සිකීමයට සිදුවූ දේ “ප්ලෑන් ඒ“ නම්, යුක්රේනයට සිදුවූ දේ අපට සිදුවීම හැදින්විය හැක්කේ “ප්ලෑන් බී“ වශයෙනි. ඒ වෙනුවෙන් අවශ්‍ය වනුයේ “මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒම සදහා මිලිටරිමය පිළිතුරක් සෙවීමට“ – “යම් කිසිවෙකුට“ උපදෙසක් ලැබීම පමණි. එවන් මිලිටරිමය මැදිහත්වීමකට අවශ්‍ය උපදෙස ද ලබා දී, ඒ “මැදිහත්වීම-යටපත්කිරීම වෙනුවෙන් වන මැදිහත්වීමක්“ සදහා නිළ ඇදුමින් ගොඩ බැසීමට මාර්ගය විවෘත කර ගැනීම “ප්ලෑන් බී“ හි කූට ප්‍රාප්තිය වනු ඇත.
මේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික සතුරා වඩාත් ම උද්දාමයට පත්ව සිටින මොහොත යයි අප හදුනා ගත යුතු වන්නේ ඉහත තත්වයන් යටතේ ය. ඒ සතුරාගේ සිහිනය සැබෑවක් වනුයේ ගෝල්ෆේස් අරගලය ඇදි ඇදී යන තරමට ය. රට අරාජික වන තරමට ය. ශ්‍රී ලංකාවේ ඓතිහාසික මිතුරා ද මීට නොවෙනස්ව කෙළ හළමින් සිටින බව අප අමතක නොකළ යුතුය. මස් කැබැල්ල ඩැහැගැනීමට ඇති බලු පොරයකදී බල්ලන්ට සිදුවන තුවාල මෙන් දහස් ගුණයක තුවාල මස් කැබැල්ලට සිදුවන බව අවබෝධ කරගත යුතුය.
ඒ සියළු බල කදවුරුවලට මහත් පහසුකම් ඇති කරවනුයේ රටේ අරාජිකත්වයයි. ඒ අරාජිකත්වය අවසන් කළ හැක්කේ ද, නොයෙක් ධජයන් ඔසවා පැමිණෙන ජාතික හා ජාත්‍යන්තර න්‍යාපත්‍රයන්ට රට ගොදුරුවීමෙන් වළක්වා ගත හැකි වන්නේ ද කල් නොයවා අරගලය ජයග්‍රහණය කිරීමෙනි. සමාජයක් ලෙස අපට ඒ සදහා කැපවිය හැක්කේ ගෝල්ෆේස් අරගලය ජයග්‍රහණය කරවීමට අවශ්‍ය උපරිම දායකත්වය ලබාදීමෙනි.
06. මීට අමතරව ඒකීය රාජ්‍යයද-එක්සත් රාජ්‍යයද, දහතුනද-දහතුන ප්ලස් ද, සංස්කෘතිකද-නිර්සංස්කෘතික ද, ආගමිකද-නිරාගමිකද, ජාතිකද-නිර්ජාතිකද, අයිඑම්එෆ් යා යුතුද-නැද්ද ආදී වශයෙන් වන සංවාදයන්ද ගෝල්ෆේස් පිටිය පුරා මේ වන විටත් දිවා රෑ දෙකෙහිම සාකච්ඡාවට ලක්වන බව දැකිය හැකිය. මේ සියළු සාකච්ඡාවන්ගේ ද අඩුවැඩියෙන් සද්භාවය මෙන්ම අසද්භාවය ද, කුමන්ත්‍රණ ද, න්‍යායපත්‍ර ද පැවතිය හැක. පව් සමාකරගැනීමට ගන්නා උත්සාහයන් මෙන්ම යළි තවත් වටයකින් පැරණි සෙක්කුවටම ගැටගැසීමේ උත්සාහයන් ද පැවතිය හැක. මේ කවර හෝ උත්සාහයක් වුව වැඩෙන්නට සරු පස සැකසෙන්නේ අරගලය ඇදී ඇදී යන තත්වයක් යටතේ බව පැහැදිලිය. එනම්, කවර හෝ සද්භාවී සාකච්ඡාවන් ඊට අදාල නිසි ගෞරවයෙන් යුතුව පවත්වාගෙන යා හැකි වන්නේ ද අසද්භාවී සාකච්ඡාවන් හා න්‍යායපත්‍රයන් පරාජය කළ හැකි වන්නේ ද ගෝල්ෆේස් අරගලය ජයග්‍රහණය කරවීමෙන් පමණක් බව අප වටහා ගත යුතුය.
ඒ අනුව නොයෙක් මාතෘකා සභාගත කරමින් රටත් රටේ අනාගතයත් අනතුරේ හෙළීම පිණිස වන උත්සාහයන් පැරදවිය හැකි හොදම ක්‍රමය වන්නේ ද හැකි තරම් ඉක්මනින් අරගලය ජයග්‍රහණය කිරීමය. සමාජයක් ලෙස අප කළ යුත්තේ ඒ ජයග්‍රහණය කරවීමට අවශ්‍ය උපරිම දායකත්වය නොලසා ලබාදීම ය.
ගෝල්ෆේස් අරගලය යනු නතර කළ යුතු හෝ පරාජය වීමට නියමිත අරගලයක් නොවන බව පාලකයන් විසින් මේ දක්වා පෙන්වා ඇති ප්‍රතිචාරයන්ගෙන් ද මනාව පැහැදිලි වේ. යම් යම් පුද්ගලයන් රට හැරයාමට හදිසි වීමෙන් ද, කැබිනට් මණ්ඩලයේ අස්ථාවර පැවැත්මෙන් ද, ස්වාධීනවීම් වැනි අතරමැදි නාටක වලින් ද පැහැදිලි වනුයේ සත්‍යය සහ යුක්තිය ඇත්තේ පාලකයන්ගේ පැත්තේ නොව අරගලය පැත්තේ බවය. එනම් පොදු ජන සමාජය පැත්තේ බව ය.
මේ ජයග්‍රහණය කිරීම යනු කුමක් ද? එය කළ හැකි ද/ ප්‍රායෝගික ද?
ගෝල්ෆේස් අරගලය යනු ඒක කේන්ද්‍රීය හෝ ඒක මූල අරගලයක් නොවේ. එය විවිධ අසාධාරණයන්ට ලක්වූවන් ද, විවිධ අරමුණු වෙනුවෙන් පෙනී සිටින්නන් ද විවිධ දේශපාලන ධාරාවන්හි නියෝජිතයන් ද ආදී වශයෙන් වන ජනකොටස් සමූහයක එකතුවකින් සැදි විවධ සටන්පාඨ අතදරා සිටින විසිරි අරගලයකි. එයට අයිතිකාරයෙක් නැතිවා මෙන්ම පොලිස් කාරයෙක් ද නැත. නමුත් සාමූහිකව ඇති කරගත් පොදු එකගතාවන්ගෙන්ද ස්වයං විනයකින් හා පැවැත්මකින් ද එය ශක්තිමත්ව බැදී ඇත. විවිධ ප්‍රතිවිරෝධතා සහිතව වුව, පවත්වාගෙන යන අරගලය ජයග්‍රහණය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඔවුන් අතර ඇතිව තිබෙන පොදු එකගතාව ඉහත පැනයට පිළිතුරු සෙවීම සදහා අපට සහය වනු ඇත.
අරගලය ඇසුරේ හිදිමින් ද, අරගලයට අදාල යම් යම් අය සමග නිරන්තරයෙන් කරන ලද සාකච්ඡා සහ තර්ක විතර්ක ආදියෙන් පසු ද තහවුරු කරගත් පරිදි අරගලයේ සියළු දෙනාම එකග වන පොදු සටන් පාඨ දෙකක් වේ. එනම්;
01. “ගෝටා ගෝ හෝම්“ අනිවාර්ය වේ.
02. රාජපක්ෂ රෙජිමයේ කිසිවෙකුත් රාජ්‍ය පාලනයට අදාලව කටයුතු නොකළ යුතුය. (මෙහිදී රෙජිමය යන්නට රාජපක්ෂ පවුල, පවුලේ කුප්‍රකට හිතවතුන්, රාජ්‍ය නිළධාරීන් සහ ව්‍යාපාරිකයන් යන සියල්ල ඇතුළත් ය)
ඉතිරි සියළු සටන් පාඨ සහ ඉල්ලීම් අතර වුවද මේ පොදු එකගතාව ගෝල්ෆේස් අරගල බිම පුරා විහිද පවතී. මේ තත්වයට අදාලව, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇසුරින් කරන ලද විග්‍රහයක් ද, පුරෝකථනයක් ද ඔවුන් සතුව පවතී. ඒ මෙසේය.
“ජනාධිපති ගෝටාබය ඉල්ලා අස්විය යුතුය. ඒ පුරප්පාඩුව පිරවීම සදහා පාර්ලිමේන්තුව විසින් එහි සිටින මන්ත්‍රීවරුන් 225 අතුරින් කෙනෙකු තෝරාගත හැකි වුවත් ඒ තෝරා ගන්නා පුද්ගලයා ඉහත කී “රාජපක්ෂ රෙජිමය“ට අයත් කෙනෙකුන් නොවිය යුතුය. ඒ ජනාධිපතිවරයා විසින් තම තාවකාලික කැබිනට් මණ්ඩලය පත්කරගත යුතු අතර ඒ කැබිනට් මණ්ඩලයේ ද රාජපක්ෂ රෙජිමය කිසිසේත් නියෝජනය නොවිය යුතුය. අදාල කැබිනට් මණ්ඩලය විසින් රටේ පවතින මූලික ප්‍රශ්න හදුනාගෙන ඒවාට පිළියම් යෙදිය යුතු අතර වසරක් වැනි නිශ්චිත කාලයකට පසු සහ රටේ පවතින මූලික ප්‍රශ්න සමනය කළ පසු මහ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් පත්කිරීමට ජනතාවට අවස්ථාව ලබා දිය යුතුය. ඒ පත්වන නව පාර්ලිමේන්තුව විසින් නවතම ආණ්ඩු ක්‍රමයක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, ආණ්ඩුක්‍රම සංස්කෘතියක්, දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතු අතර සොරුන්ට දඩුවම් දීම, සොරකම් කරන ලද ජාතික ධනය සහ ජාතික සම්පත් යළි ලබාගැනීම මෙන්ම ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් වැනි සමාජ බලාපොරොත්තු ඉටු කළ යුතුය.“
මේ මට වැටහුණු පමණින් අරගලයේ පොදු ඉල්ලීම ය. මීට වෙනස් ඉල්ලීම් සහ සටන්පාඨ තව බොහෝ ඇති බවත් මේ පොදු ඉල්ලීම් දෙක ජයග්‍රහණය කළ පමණින් “අරගලය නතර නොවන නමුත් අරගලය ජයග්‍රහණය කිරීම සදහා” මේ පොදු ඉල්ලීම් දෙක ජයග්‍රහණය කිරීම අත්‍යාවශ්‍ය වන බවත් පැහැදිලිය. මේ පොදු ඉල්ලීම් දෙකෙහි ජයග්‍රහණය, සැබෑ ජයග්‍රහණයක මූලාරම්භය වනු ඇත. පරාජයන් ගොන්නක අවසානය වනු ඇත.
(මෙම ලියමනේ 01 සිට 06 දක්වා වන “සාධක“ පෙළ ගස්වා ඇත්තේ ඒවායේ ඇති වටිනාකමේ ප්‍රමාණයන් අනුව නොවන බවත්, ලිපියේ පෙළගැස්ම අනුව බවත් සැළකුව මනාය.)
-නීතිඥ කපිල ගමගේ
අප මේ ලිපිය උපුටා පළ කරන්නේ ගෝල්ෆේස් අරගලය ගෝඨාගෝගමේ ගම්මුලෑදෑනිලා කිහිප දෙනෙකුගේ බුුදලයක් කරගෙන එය බලහත්කාාරී පාලනයකට යටත් කිරීමට ගත් උත්සාහයන් මේ වන විට පාරාජය වෙමින් ඇති බව පෙන්වා දීම සඳහාය.
මෙම ලියුම්කරු පෙන්වා දෙන ආකාරයට ගෝල්ෆේස් අරගලය
01. “ගෝටා ගෝ හෝම්“ අනිවාර්ය වේ.
02. රාජපක්ෂ රෙජිමයේ කිසිවෙකුත් රාජ්‍ය පාලනයට අදාලව කටයුතු නොකළ යුතුය.
ඉල්ලීම් දෙක ඉක්මවා යමින් නව සංවාදයක් ඇතිවී තිබීම රටේ සැබෑ අරගලය සම්බන්ධයෙන් අතිශය සුබ ලකුණකි.