ක්‍රිප්ටෝ වලිනුත් කප්පම් ! ශ්‍රී ලාංකිකයකුගේ ඩුබායි මෙහෙයුමක්

ක්‍රිප්ටෝ වලිනුත් කප්පම් ! ශ්‍රී ලාංකිකයකුගේ ඩුබායි මෙහෙයුමක්

ක්‍රිප්ටෝකරන්සි වල ආයෝජනය කර ඇති සහ ක්‍රිප්ටෝකරන්සි පිළිබඳ පාඨමාලා, දැනුම්වත් කිරීම් කරන මෙරට පුද්ගලයන් ඉලක්ක කරගනිමින් කප්පම් ගැනීමේ මහා ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු හෙළිව තිබේ. ඩුබායි සිට මෙහෙයවන මේ ජාවාරම සිදු කරන්නෙ මෙරට කලක් පදිංචිව සිට දැනට ඩුබායි හී පදිංචිව සිටින ශ්‍රි ලාංකික පුද්ගලයකු විසිනි. මෙරට ක්‍රිප්ටෝකරන්සි සම්බන්ධයෙන් කටයුතු කරන පුද්ගලයන්ට පොද්ගලිකවම පණිවිඩ එවමින් බියට පත් කරමින් ඔවුන්ගෙන් කප්පම් ගැනීම මෙහි මූලික කටයුත්ත වී තිබේ. විශේෂයෙන්ම ක්‍රිප්ටොකරන්සි නීති විරෝධී කටයුත්තක් බවත් එයට දඩුවම් ලැබිය හැකි බවටත් කියමින් මෙම ගනුදෙනු තවදුරටත් පවත්වාගෙන යෑමට නම් තමන්ගේ සහය ලබාදිය හැකි බව කියමින් ඒ වෙනුවෙන් මුදලක් ගෙවිය යුතු බව මුලිකව පවසයි. ඊට තමන්ගේ ඇති හැකියාව ගැන සහ සම්බන්ධතා ගැන බොහෝ දේ පැවැසීම සිදු කරයි. මෙවාට රැවැටුණු කිහිප දෙනෙකු ගැන තොරතුරු ද අප සතුව තිබේ. කෙසේ නමුත් මේ බොරු නොපිළිගන්නා අයට තර්ජනය කර කප්පම් ඉල්ලීම ද සිදුව තිබේ. මෙලෙස ඩොලර් හා ක්‍රිප්ටෝකරන්සි වලින්ම ගෙවීම ලබාගැනීම මේ ජාවාරම්කරුවා සිදුකර තිබේ.

මේ කියන පුද්ගලයා මීට කලකට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ඩුබායි හී පවත්වනු ලැබූ සංගීතමය තරගයක් නිසා ජනප්‍රියත්වයට පත් වූවකු වන අතර එම ජනප්‍රියත්වයද මෙම ජාවාරම ගෙන යෑමට පාවිච්චි කරමින් තිබේ. විශේෂයෙන්ම ක්‍රිප්ටෝකරන්සි සම්බන්ධයෙන් ලංකාවේ සිටින අංක එකේ ආයෝජකයා තමන් බවද කියමින් තිබේ. මේ දිනවල මෙරට ආන්දොලනාත්මක මුල්‍ය වංචාකරිනිය වන තිලිණි ප්‍රියමාලී නැමැත්තියගේ ජාවාරම මෙන්ම මෙම පුද්ගලයාත් මේ වන විට ඩොලර් මිලියන ගනනක බරපතල වංචාවක් සිදු කරමින් ඇති බව තතු දත් අය පෙන්වා දෙති. මොහුගේ වංචාකාරී ක්‍රියාවට හසුව අගතියට පත් කිහිප දෙනෙකු සහ මේ ගැන කාලයක් තිස්සේ සොදිසි කළ කිහිප දෙනෙකු මෙම ජාවාරම්කරුට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන කටයුතු කරමින්ද ඇත. මේ වන විටත් මහ බැංකුවේ නිලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද දැන ගන්නට තිබේ.

දැන් වසර කිහිපයක් තිස්සෙ කෙරෙන මෙම ජාවාරම පසුගිය කාලයේ ක්‍රියාත්මක කෙරුණෙ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් සහ තවත් රජයේ ඉහළ නිලධාරීන් මෙන්ම රාජපක්ෂ පවුල සමඟ තමන්ට සමීප සම්බන්ධතා තිබෙන බව හුවා දක්වමිනි. මහ බැංකුවේ වර්තමාන ඉහළ නිලධාරීන් ද තමන්ගේ මිතුරන් බව කියමින් මේ ජාවාරම අදටත් පවත්වගෙන යයි. ඒ ඇතැම් නිලධාරීන් සමඟ ගත් ඡායාරූප කිහිපයක් ඔහු මේ වෙනුවෙන් යොදා ගැනිමත් සිදු කර තිබේ.

මේ අතර තවත් ජාවාරම් කිහිපයකටම මෙම පුද්ගලයා හවුල් වී ඇති බවත් ඩුබායි හීද මොහුට එරෙහිව චෝදනා එල්ල වී නීතිය ඉදිරියට පැමිණ වූ පුද්ගලයෙකු බවත් දැන ගැනීමට ඇත. විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් චරිත ඝාතනය කරන බවට තර්ජනය කර කප්පම් ලබා ගැනීම් ගැන එලෙස චෝදනා එල්ල වී ඇත. මොහු කවුද, නම ගම කුමක්ද යනාධි සියලු විස්තර අප සතුව ඇතත් මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් යම් නීතිමය කටයුත්තකට මුල පුරා ඇති නිසා දැනට හෙළි නොකරමු.

ක්‍රිප්ටොකරන්සි ගනුදෙනු කිසිසේත්ම නීති විරෝධී කටයුත්තක් නොවේ. ලෝකයේ බොහෝ රටවල මේ වන විට නිත්‍යනුකූල තත්වයන් යටතේ ක්‍රියාත්මක වෙමින් තිබේ. ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් කිසිදු නීතිමය තත්වයක් දැනට නැත. එම නිසා මෙය නීති විරෝධී හෝ නීත්‍යනුකූල හෝ වන්නේ නැත. කෙසේ නමුත් මේ වන විටත් මෙරට පුද්ගලයන් තිස් දහසකට අධික පිරිසක් මෙ ක්‍රිප්ටෝකරන්සි වල ආයෝජනය කර ආදායම් උපයමින් සිටින බව එම ක්ෂේත්‍රයේ අය පෙන්වා දෙති.

කෙසේ නමුත් ක්‍රිප්ටෝකරන්සි සම්බන්ධයෙන් යම් කිසි හෝ නීතිමය මැදිහත් වීමක් සිදු කර එයට නීත්‍යනුකූල බාවයක් ලබා දී යම් නියාමනයක් සිදු කිරීමට මහ බැංකුව කටයුතු කරන්නේ නම් විවිධ ජාවාරම්කරුවන්ගෙන් මෙම ආයෝජකයන්ට වන හානි වලක්වා ගත හැකිවනු ඇත.

Leave a Reply

Your email address will not be published.