පවතින සමාජ ආර්ථික හා දේශපාලනික අර්බුදකාරිත්වයන් මත තැන තැන කෙරුණු උද්ඝෝෂණ වල විසුරුණු ස්වභාවය සහ නිශ්චිත දේශපාලනික ඉලක්කයන් නොමැති වීම මත ඒවායෙහි බලපෑම මෙතෙක් සැලකියයුතු ලෙස රාජ්‍යයට එතරම් දැනී නැත.
විශේෂයෙන්ම ගාලු මුවදොර පිටිය අශ්‍රිතව කෙරෙන උද්ඝෝෂණ සඳහා ආණ්ඩුවේ ආශිර්වාදය ද ලැබී තිබෙන සෙයක් පෙන්නුම් කරන තරමට එය වාසිදායක තත්වයක් කරගැනීමට මේ වන විට දේශපාලනික ව්‍යකුලත්වයකට පත්ව සිටින රාජපක්ෂ රෙජීමයට හැකිවී ඇත. ජනතා විරෝධය මෙම හිස් අවකාශය තුළට ගාල් කිරීම නිසා රාජපක්ෂ රෙජීමයට තමන්ගේ ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය අවස්ථාවන් ලැබී තිබේ.
එහෙත් මේ වන විට දේශපාලනිකව දැනෙන බලපෑමක් කළ හැකි සංවිධාන්ත්මක විරෝධතා ව්‍යපාරයකට රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති පෙළ ගැසීම නිසා රාජපක්ෂ රෙජීමයට තමන්ගේ පැවැත්ම සහතික කර ගැනීමේ දුෂ්කර තාවය මතු වෙනු ඇත. අප්‍රේල් 28 වන දින කැඳවා ඇත්තේ සංඛේත වැඩ වර්ජනයක් වුව එය රජය කෙරෙහි දැඩිව බලපෑම වැලැක්විය නොහැක. මෙම වෘත්තීය සමිති එකමුතුව එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ එක අරමුණක් වෙනුවෙන් පෙළගැසුණු විශාලම එකතුව ලෙස සැලකිය හැකිය. කෙසේ නමුත් මෙම වැඩ වර්ජනයට සමගාමීව,පීඩාවට පත් ජනතාවගේ අරගලයට වෙනත් සංවිධාන, දේශපාලන පක්ෂ වල දායකත්වය එදින සිට ලැබේ නම් රාජපක්ෂවරුන්ට තවදුරටත් රැඳී සිටීම කළ නොහැකි වෙනු ඇත.
ආණ්ඩුවක් පෙරැළිම හෝ වේවා සමාජ, දේශපාලන, ආර්ථික වශයෙන් විප්ලවීය පරිවර්තනයක් කිරීම යනු රාජ්‍යයේ පවතින දේශපාලනික බලයකට, දේශපාලනිකව අභියෝග කිරීමකි. එය පරාජයට පත් කිරීමකි. එවැනි ක්‍රියාමාර්ගයකදී සංවිධානාත්මක දේශපාලනික බලයක බලපෑම විය යුතුමය. රාජ්‍යයේ ආර්ථික ක්‍රියාවලිය අඩපණ කොට තවදුරටත් රාජ්‍ය පලකයාට එය මෙහෙයවා ගත නොහැකි තත්වයට පත් කළ යුතුය. 28 වෙනිදා කැඳවා තිබෙන වැඩ වර්ජනය ඒ වෙනුවෙන් වන පළමු පියවර ලෙස සැලකිය හැකිය. ඒ තවදුරටත් වඩ වඩාත් සංවිධානාත්මකව, තව තවත් පිරිස් බලය එකතු කරගෙන ඉදිරියට යායුත්තකි.
මෙහිදී වඩාත් වැදගත් වන්නේ රාජපක්ෂ රෙජීමය පළවා හැරීම සඳහා ඒ වෙනුවෙන් උනන්දුවක් දක්වන සියලු පාර්ශ්වයන් එක මිටට එකතු වීමය. මේ සඳහා දේශපාලන කණ්ඩායම්, පක්ෂ වලටද එකතු වීමේ ඉඩ කඩ විවරකර දිය යුතු අතර, රාජපක්ෂ රෙජීමය පළවා හැරීම ඉලක්ක කරගත් නිශ්චිත අරමුණ වෙනුවෙන් පොදු එකඟතාවයකට, සම්මුතියකට සියලු පාර්ශ්ව පැමිණිම විය යුතුය. මෙසේ එකතුවන සෑම පාර්ශ්වයකටම තමන්ගේ පාර්ශ්වික දේශපාලන න්‍යාපත්‍ර තිබිය හැකි වූවත් මේ පොදු අරමුණ ජයග්‍රහණය වෙනුවෙන් එම න්‍යායපත්‍ර මොහොතකට අකුලා ගැනීම විය යුතුය. මන්ද මේ රාජපක්ෂ රෙජීමය පමණක් නොව රාජපක්ෂ පවුලේ පරාජයන් හමුවේ වුව ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් තවදුරටත් මේ ශ්‍රී ලාංකේය භූමියේ පැවැත්ම, රාජ්‍යයේ අනාගතය විනාශ කරන්නක් බව මේ වන විට වුවමණාවටත් වඩා ඔප්පුවී ඇති බැවිනි. මේ දේශපාලන පිළියකි. එය මුළුමනින්ම ගලවා විනාශකිරීමකින් තොරව මේ රාජ්‍යයට පැවැත්මක් නැත.
එම නිසා රාජ්‍යයේත්, පුරවැසියාගේත් අභිවෘද්ධිය අවංක ප්‍රාර්ථනා කරන ඒ වෙනුවෙන් වැඩකරන මේ සියලු පාර්ශ්වයන්ගේ නියෝජනය සහිත ශක්තිමත් ජවසම්පන්න මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම මේ මොහොතේ විය යුතුය. ජනතා අරගලයේ තීන්දු තීරණ ගැනීම, සාමුහිකව, පොදු අරමුණ ජයග්‍රහණය සඳහා යටත් කර නිසි පරිදි නිසි වෙලාවට ගැනීම සඳහා මෙම එකතුව අත්‍යාවශ්‍යය.
අප්‍රේල් 28 වනදා උදාවන අවස්ථාව පදනම් කරගෙන මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට සියලු පාර්ශ්ව එකතු වන්නේ නම් රාජපක්ෂ රෙජීමය පසුවෙන්, ඉක්මනින් පසු බස්සවා නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අඩිතාලම දැමීමට ඓතිහාසික අවස්ථාවක් බිහිවීම අනිවාර්ය තත්වයකි.
ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්න.. ඒ වෙනුවෙන් සියලු පාර්ශ්ව වලට බලපෑම් කරන්න… මේ රටේ සෑම පුරවැසියකුගේම යුතුකම හා වගකීම කොටගත යුතුය. සුද්දාගෙන් නිදහස ලැබීමෙන් පසුව හැමදාම ඔළුගෙඩි මාරු කර කර එකම නරා වළේ දුක් විඳිනවා වෙනුවට එයින් ගොඩඒමට මේ විප්ලවීය දේශපාලන මොහොත යොදාගැනීමට අප අපොහොසත් වන්නේ නම් තවදුරටත් මේ ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය පවත්වාගෙන යාමෙහි ද තේරුමක් නැත.
- ලක්දේශ්

