ශ්‍රී ලංකා රජය මඟින් විදේශයන්ට ගෙවිය යුතු ද්වීපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ඇතුළු සියලු ණය ආපසු ගෙවීමේ කටයුතු තාවකාලිව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය. එම මුදල් ගෑස්, තෙල්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ආනයනය සඳහා යොදා ගන්නා බව ද කොළඹ කොටුව මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (12) දහවල් පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා කීවේය.
පවතින තත්ත්වය අනුව ණය ගෙවීම අභියෝගයක් මෙන්ම කළ නොහැකි කාර්යයක් බවට පත්ව ඇති බවත් ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අවස්ථාවක් ඇති කරගත යුතු බවත් පැවසූ අධිපතිවරයා ඉන් අපි අදහස් කරන්නේ දීර්ඝ කාලීන ණය ගෙවීම් පැහැර හැරීමක් සිදු වීම වළක්වා ගැනීම බවත් කීවේය.
ඩොලර් අර්බුදයෙන් මව්බිම බේරා ගැනීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් පෙළඹී ඇති ප්‍රවණතාවක් මතු වී ඇතැයි ද හෙතෙම කීවේය.
මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ විදේශීය මුදල් ආධාර බැර කිරීමට අලුතින්ම ගිණුමක් නුදුරේදීම හඳුන්වා දීමට පියවර ගන්නා බව ද පැවසීය.
රට මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදය විසඳීමට මඟක් ලෙස මෙරටට ලැබෙන සියලු ප්‍රදානයන් මේ ගිණුම හරහා ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද එම කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදු කරන බවට මහ බැංකුව වෙනුවෙන් තමන් සහතික වන බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.
මේ අපි කළේ කළ හැකි හොඳම සහ අවශ්‍යම දේ. අපි කවදාවත් ණය ගෙවීම පැහැරහැර ඇති ජාතියක් නෙවෙයි. මෙය තාවකාලික පියවරක්. අපි ණය හිමියන් සමඟ එකඟතාවකට එළඹෙනතුරු. ඒ සඳහා අයි.එම්.එෆ්. සහාය ලැබෙයි. මෙසේ ඉතිරි වන විනිමය අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සපයා ගැනීමට යෙදීම මඟින් දේශීයව පවතින ගැටලුකාරී තත්ත්වය කෙටි කලක් තුළ විසඳාගත හැකියි. එනම් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා විදේශ විනිමය හිඟය අඩු කර ගන්න පුළුවන් බව විශ්වාස කරනවා යැයිද කීවේය.