ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය වේගවත් කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන බවුසර් හිමියන් වෙත දැනුම් දී ඇත. මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ඉන්ධන නොමැතිනමින් ඉනධන පිරවුම් හල් රැසක් වසාදමා ඇත. මේ තත්වය නිසා තවදුරටත් ඉන්ධන තොග ඇති පිරවුම් හල් හී ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් විශාල පෝලිම් දකින්නට තිබිණි.
මේ තත්වය මත ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් හැකි ඉක්මනින් තම බවුසර් අදාළ පර්යන්ත හා ඩිපෝ වෙත යොමු කර ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය වේගවත් කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන බවුසර් හිමියන් වෙත දැනුම් දි තිබේ.
කෙසේ වෙතත් මෝටර් රථ, වෑන්, ජීප් සදහා පෙට්‍රල් සහ ඩීසල් යන ඉන්ධන දෙවර්ගයම නිකුත් කිරීම ඊයේ සිට සීමා කිරීමටයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව පවතින ඉන්ධන හිගය හා තදබදය ඉදිරියේ දි අවම වනු ඇති බවට රජය විශ්වාස කරයි.
මෝටර් රථ, වෑන්, ජීප් සදහා ඉන්ධන නිකුත් කරන්නේ රුපියල් පන්දහසක් දක්වා පමණි. යතුරු පැදි සදහා ඉන්ධන නිකුත් කිරීම රුපියල් දහසකට සීමා කර ඇති අතර ත්‍රී රෝද රථ සදහා රුපියල් එක්දහස් පන්සියයක සීමාවක් පනවා තිබේ. බස් රථ, ලොරි රථ සහ වානිජ කටයුතු සදහා යොදා ගැනෙන ට්‍රැක්ටර් ඇතුළු වාහන සදහා මෙම සීමාව අයත් නොවෙයි.
මේ අතර බූලි සහ බැරල් වෙත ඉන්ධන නිකුත් කිරීම ද සීමා කර තිබේ. ඒ අනුව අවසර ලබාදී ඇති පාර්ශ්ව වෙත පමණක් ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඉන්ධන හිගයක් නිර්මාණය වීම වැළැක්වීම සහ විවිධ ජාවාරම් සිදුකිරීම පිළිබද අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය. යම් කර්මාන්ත ශාලාවකට බූලි සහ බැරල් වෙත ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය නම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඊට අවසර ලබාගත යුතුය. කෘෂිකර්මාන්තයට අදාළ කටයුතු වෙනුවෙන් ඉන්ධන ලබාගැනීමේ අවසරය ගොවිජන සේවා නිලධාරීන්ගෙන් ලබාගත යුතුය.