යුක්රේන යුද ගැටුම් හේතුවෙන් ගෝලීය ආහාර හා බලශක්ති මිල දරුණු ලෙස ඉහළ යෑමෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය. එබැවින් ණය පැහැර හැරීමෙන් වැළකීම සඳහා ස්වෛරීත්ව බැඳුම්කර වඩාත් ශක්තිමත් යාන්ත්‍රණයක් යටතේ සිදු කිරීමට අවශ්‍ය බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
කොවිඩ් වසංගතය තවමත් බොහෝ රටවල අයවැය දැඩි පීඩාවට පත් කරමින් සිටින බවත්, යුක්රේන යුද්ධය පෙර නොවූ විරූ මට්ටමේ ණය ගෙවීමේ අවදානමක් මතු කර ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වික්ටර් ගැස්පර් ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කළේය.
“ආහාර සහ බලශක්ති මිල ඉහළ යාම අඩු ආදායම්ලාභී රටවලට විශේෂයෙන් දැඩි ලෙස බලපාන අතර ඔවුන්ට තවත් ප්‍රදාන සහ ඉහළ සහනදායී මූල්‍යකරණයක් අවශ්‍ය විය හැකියි. ණය විනිවිදභාවය වැඩිදියුණු කිරීම සහ අවදානම් අවම කිරීම සඳහා ණය කළමනාකරණ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සඳහා රටවල් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතුයි.” ඔහු ප්‍රකාශ කර තිබේ.
අඩු ආදායම්ලාභී රටවලින් සියයට 60ක් පමණ දැනටමත් ණය උවදුරුවල හෝ අවදානමට ලක්ව ඇතැයිද වාර්තා වේ.