මෛත්‍රී බලාපොරොත්තු ඉටු කරන්න නැත්නම් විනාශ වන්න

යහ පාලනය උදා කළ සිවිල් ක්‍රියාධරයන් සාධනීය පදනමක සිට යහ පාලකයන් දැඩි සේ විවේචනය කරමින් තමන් නිර්මානය කළ ආණ්ඩුව නිසි මාර්ගයට යොමු කර ගැනීමට උත්සාහ කරමින් සිටිති. බලය ලැබුණු පමණින් කිසිවෙකුට රටේ අයිතිය බුක්තියට සින්න කර ගැනීම වැරදිය. එය මහින්දට මෙන්ම මෛත්‍රීටත් වංලගුය. යුද්ධය නිම කළ මහින්ද රාජපක‍්ෂ කනෙන් ඇද විසි කළේ රටේ අයිතිය බුක්තියට සින්න කර ගන්ට යාම නිසාය. මෛත්‍රි ඒ දේ කළොත් පළමුව විසි වෙන්නේ මෛත්‍රී මිස දුෂ්කර කැප කිරිමකින් ස්ථාපිත කළ යහ පාලනය නොවේ. මන්ද මෛත්‍රීපාල සිරිසේන කනෙන් ඇද විසි කළද යහපාලනය එලෙස විසි කිරීමට සිවිල් සමාජය ඉඩ නොදෙන බැවිනි. ඊට හේතුව මෛත්‍රීපාල යනු යහ පාලනයේ අවයවයක් මිස යහ පාලනය නොවන නිසාය.

මහින්ද වසර දහයක් සිදුකළ විනාසය සැනෙකින් යථා තත්වයට ගැනීමට යහ පාලන ආණ්ඩුවට නොහැකිය. ඒ නිසාම කෝ හොරුන් ඇල්ලූවාදැයි අසා කෙනෙකුට හිනා වෙන්න පුළුවන. පරීක‍්ෂණ පමාවීම ගැන විමසන බහුතරය කුරුණෑගල ජොනී, කළුතර රත්තරන් ජාතියේ කුප්‍රකට සුද්දවන්තයෝ වෙති. එසේම අනුර යාපා හෝ නිමල් සිරිපාල ජනවාරි ජයග්‍රහණයේ කොටස් කරුවන්ද නොවෙති. ඔවුන් අගෝස්තු 17 දා මෙන්ම අදටත් පෙනී සිටින්නේ පරාජිත මහින්ද වෙනුවෙනි. ව්‍යවස්ථා සංශෝධනය ගැන මහින්ද දරන මතය ඔසවා ගත් ඔවුන් මෙවරද ආණ්ඩුව බිය ගැන්වීමට වලිකති.

යහ පාලනය උදා කළ සිවිල් සමාජය මෛත්‍රීපාල සහ යහ පාලකයන් විවේචනය කරන්නේ පරීක‍්ෂණ පමාවීම නිසා නොවේ. ඊට වඩා ගැඹුරු දැක්මක් ඇතිවය. සත්තකින්ම යහපත් ගමනක් යාමට විවේචන අවශ්‍ය වේ. පවුලක උන්නතිය වෙනුවෙන් පවා සමහර ගෘහ මූලිකයන් පවුල් හමු පවත්වති. විචේනය නිදහසේ අදහස් කීම ගමනක්, කණ්ඩායමක්, පවුලක් පාලනයක් ශක්තිමක් වීමට හේතු වේ. අධ්‍යක‍්ෂ මණ්ඩල රැස්වීමක සිදු වන්නේද මෙයයි.

මේ උත්සාහය කරන්නේ රටේ යහ පාලන සටන වෙනුවෙන් අවසන් මොහොතේ රාජපක‍්ෂ ආණ්ඩුව අතහැර එළියට පැමිණි මිනිසා ගැන යම් නිරීක‍්ෂණයක් ඉදිරිපත් කිරීමය.

මෛත්‍රීපාල සිරිසේන පොදු විපක‍්ෂයට එක් නොවන්නට ජනවාරි ජයග්‍රහණය යථාර්තයක් කිරීම අසීරු වනු නිසැකය. ඒ ගැන මෛත්‍රීපාල සිරිසේන කෙරෙහි පැවති අප්‍රමාණ ගෞරවය සිවිල් ක්‍රියාකාරිකයන් තුල අදටත් බිංදුවටම බැස නැතිවාට සැක නැත. ජනවාරි ප්‍රතිපල විග්‍රහයේදී මෛත්‍රීපාලගේ ජයග්‍රහණය සහතික කළ ඡන්ද ප්‍රමාණයෙන් 48%ක් එවක පොදු විපක‍්ෂය සමග සිටි ජනතාව වෙති. ලසන්තලා, එක්නැලිගොඩලා මැරුම් කෑවේ මහින්දට එරෙහි මතය ජනතාවට කාවද්දන්නට ක්‍රියා කළ හෙයිනි. ලංකා ඊ නිවුස් වැනි ආයතන ගිනිබත් කෙළේ ඒ නිසාය. රටේ ජයග්‍රහණය පිණිස මහින්දට එරෙහි ජන බලය 51% තෙක් උස්සා තැබීමට මෛත්‍රීපාල දුන් දායකත්වය ඡන්ද තුන් ලක‍්ෂ හැත්තෑ පන් දහසකටත් අඩු ප්‍රමාණයකි. ඒ දායකත්වය සංඛ්‍යාත්මකව නම් සොච්චමකි. එහෙත් මහින්ද ගෙදර යැවීමේදී ඒ සොච්චම තීරණාත්මක විය. එහි දෙකක් නැත. යහ පාලන සටනේදී මෛත්‍රීගේ සංඛ්‍යාත්මක දායකත්වය එතරම්ම සොච්චමක් වුනේ ජාතික දේශපාලන කෝදුව ළඟ සිටැ වූ විට ප්‍රදර්ශනය වූ ඔහුගේ අඟුටුමිටි ස්වභාවයට සාපේක‍්ෂකවය.

මෛත්‍රීපාල සිරිසේන යනු ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයේ දෙවන තුන්වෙනි පේළීවල එහා මෙහා වෙමින් සිටි තවත් දේශපාලනඥයෙකි. දස ලක‍්ෂයක් පමණ ඡන්ද පදනමක් ආණ්ඩුවෙන් එළියට ගැනීමට තරම් ඔහු ශක්තිමත් නොවීය. වෙලාවේ හැටියට පොදු විපක‍්ෂයට මෛත්‍රීපාල සිරිසේන ද ප්‍රමාණවත් විය. සිවිල් ක්‍රියාධරයන් මහින්ද රාජපක‍්ෂ පරාද කිරීමට සැලසුම් කළේ දිගු කලක සිටය. ඒ සැලැස්මේ මෛත්‍රීපාල කෙනෙක් සිටියේම නැත. මෛත්‍රීපාල සිරිසේන යනු අගවිනිසුරුවරිය එළැවූ විට මෙන්ම ෆොන්සේකා හිර කළ විටද කරබා ගෙන සිටි මහින්ද රාජපකෝෂගේ තවත් එකෙක් පමණක් විය. සිගරැට් පෙට්ටියේ පින්තූරයක් දමා ගැනීමට නොහැකි වීම වැනි සිල්ලර ඝනයේ යම් යම් කෙනෙහිලි ඔහුට නො තිබුණා නොවේ. එහෙත් මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස දිවි හිමියෙන් මහින්දගේ සොරකම් වංචා දුෂණ සහිත ශ්‍රීලනිපය සමග ආබාධයකින් තොරව සිටියේය.

ශ්‍රීලනිපයට නායකත්ව දෙමින් දූෂන සෙවිය හැකිද?

මෛත්‍රී වර්තමානයේ ශ්‍රීලනිපයට නායකත්වය දෙමින් කරන්නේ කුමක්ද? 2014 නොවැම්බර් 20 තෙක් ඔහු සිදුකළ දේමය. එනම් මහින්දගේ සොරකම් වංචා දූෂණ වෙනුවෙන් පෙනී සිටි පිරිස ආරක‍්ෂා කිරීමය. ඊට එක් උදාහරණයක් මෙසේය. මෛත්‍රීට හිස නැමූ අනුර යාපාට ඛණිජ තෙල් ටෙන්ඩර් මගඩියක විමර්ශණයක් පවතී. නඩු නැත. මෛත්‍රීට එරෙහි බැසිල්ට, ජොන්ස්ටන්ට කළුතර රත්තරන්ට නඩු වැටී ඇත. ඒ ගැන ජනතා මතය නම් මෛත්‍රී දෙබිඩි චරිතයයක් බවය. සිවිල් ක්‍රියාධරයන්ගේ නිරීක‍්ෂණ අනුව, යහ පාලනයේ මූලිකයා වන මෛත්‍රීට ශ්‍රීලනිපයට නායකත්වය දෙමින් ජීවිතයට දූෂණ සෙවිය නොහැකිය. ව්‍යවස්ථාව වෙනස් කළ නොහැකිය. දැන් සිදුවෙමින් පවතින්නේ එයයි.

දේශපාලනය සඳහා මින් පසු රජයේ දැන්වීම් නැත යයි 2015 ජනවාරියේ කී මෛත්‍රී 2016 ජනවාරියේ පදවි ප්‍රාප්ති ප්‍රශස්තියට රජයේ මුදල් කෝටි ගණනක දැන්වීම් පළ කරවීය. ඒක කළේ මෛත්‍රී ජනාධිපති ලේකම් අබේකෝන් ලවා නොවේ. ශිරාල් ලක්තිලක ලවා ය. මේ පුද්ගලයා දිගු කලක් එජාපයට නායකයෙකු සෙවීම තමාගේ වගකීමකැයි සිතා ඇඳගෙන සිටි අයෙකි. අවසාන මොහොත තෙක් පොදු අපේක‍්ෂකයා යටපත් කිරීමට මහින්ද එජාපය හරහා ඇද්ද උගුලේ එක් වැල් පටක් විය. ඔහු නාග විහාරයේදී යහ පාලනය හදාරා තිබුණා නම් ඒ නාඩගමට එකතු වෙන්නේ නැත. එහෙත් සකල ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවම වසන්තප්‍රිය රාමනායක සමග පදවි ප්‍රාප්ති ප්‍රශස්තිය සඳහා හසුරුවන ලද්දේ මොහු විසිනි. මෙහිදී චමුදිත සමරවික්‍රම, ලලිත් සිල්වා හෝ ගාමිණි සුමනසේකර ගැන කතා කරන්නේ නැත. පුදුමය සුදර්මන් රදලියගොඩ හා ආරියනන්ද දොඹගහවත්ත තවමත් පත් කර නොගැනීම ය.

මෛත්‍රී ගැන අනුමාන දෙකකි,

මේ හරහා පැමිණිය හැකි අනුමාන දෙකකි. එක්කෝ මෛත්‍රීපාල ශ්‍රීලනිප නායකත්වයට කෑදරව යහ පාලනය බිලි දෙමින් තම බලය පාවිච්චි කරන බවය. ඉහත කී පුද්ගල පත්වීම් ඒ අනුමානය තහවුරු කරයි. මේ කුමන්ත්‍රණය ගැන සිවිල් ක්‍රියාධරයන් සෙවිල්ලෙන් සිටිති. මහින්දට ගෑවුන එකෙකුට පවා අත් නොහැර තලන්නේ ඒ නිසාය. කරුණාරත්න පරණවිතාන බැට කෑවේ ද ඒ නිසා විය හැකිය. ඔහු මේ වන විට පදවි ප්‍රාප්ති ප්‍රශස්තිය ගැන ප්‍රකාශයක් කර ඇත. එයින්ද තහවුරු වන්නේ පදවි ප්‍රාප්ති ප්‍රශස්තිය ජනාධිපති කාර්යාලය විසින් මෙහෙයවන ලද බවය. ජනවාරි ජයග්‍රහණය සඳහා රට පුරා විසිරී සිටි සිවිල් ක්‍රියාධරයන් මහින්ද පාලනයට එරෙහිව කළ දේ බොහෝය. විශේෂයෙන් ජනමාධ්‍ය වේදීන් ලේඛකයන් ක්‍රියා කළේ දැඩි අවදානමක් ගනිමිනි. එහිදී මහින්දට ගොදුරුවූ අය බොහෝ වෙති. එක්නැලිගොඩ ඝාතනය කළවුන් බේරා ගැනීමට යුධ හමුදාව ක්‍රියා කිරීම ගැන සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන නිහඬව සිටීම පුදුමයකි. මහින්දට එරෙහි සටන් අතර, මහින්දගෙන් වරදාන ලැබ එක්නැලිගොඩලාට ලසන්තලාට කොටි ලේබලය ඇලවූ ගාමිණී සුමනසේකරලාට මෛත්‍රී තනතුරු පුදමින් සිටිති. ඒ මෛත්‍රීම තමන් ජාතිවාදි නොවන බව කියයි. ජනාධිපති කම හිමිකළ යහ පාලන ව්‍යාපාරය විකෘති වන ලෙස පදවි ප්‍රාප්ති ප්‍රශස්තිය සැලසුම් කළ මේ කල්ලිය සිදුවීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයට කුමක් කරත් ද?

සිවිල් ක්‍රියාධරයන් මහින්දට එරෙහි සටනේ බර කිරන විට මෛත්‍රීපාල මහින්දගේ ගොඩට දමා තක්සේරු කර තිබිණ. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන යනු ජනවාරි ජයග්‍රහණයට හැට්ට කට්ටක් ගසා සවිකළ අවයවයක් මිස, එහි සමස්තය නොවේ. මේ සිද්ධ වන්නේ කුමක්ද? මෛත්‍රී, තමාට ලබා ගැනිමට අසීරු ශ්‍රීලනිපයේ නායකත්වය සඳහා සකල ජයග්‍රහණයම බිලිදෙන ආකාරයකි. ශ්‍රීලනිපය තුල මුළු ගැන්වී අවතක්සේරුවට ලක්ව සිටි මෛත්‍රීපාල සිරිසේන නම් චරිතය එක් රැයකින් මිනිසෙකු කළේ ජනවාරි ජයග්‍රහණය විසිනි. ජනවාරි පරාජය ගැන ශ්‍රීලනිපය කිසි විටෙක මෛත්‍රීපාලට සමාව දෙන්නේ නැත. ඔහු මේ ටික තේරුම් ගන්නේද නැත.

ජනවාරි සංසිද්ධියේ න්‍යෂ්ඨිය වූ මෛත්‍රී වසරත් ගෙවුන තැන තමන් ගැන අධිතක්සේරුවක පිහිටා ක්‍රියා කරමින් සිටියි. තමා නෙරපා දැමූ පක‍්ෂයේ නායකත්වය සඳහා ඔහු අනේක කැප කිරිම් සිදු කරමින් සිටියි. මෛත්‍රීට එය දිගින් දිගටම අවාසි දායක වනු නියතය. හේතුව අද ජිවත්වන ජනාධිපති මෛත්‍රීපාල යනු ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයට එරෙහිව රටේ සදාචාර සම්පන්න ජනතාව කළ නිර්මානයකි. ඔහුගේ මේ පෞරුෂයට ශ්‍රීලනිපය සදා වෛර කරති. එය මෛත්‍රී නො දන්නා බරපතල තත්වයකි. ජනවාරියේ පරදවන ලද්දේ රාජපක‍්ෂ පවුල නොවේ. සමස්ත නිදහස් සංධානයේ ආත්මය ශ්‍රීලනිපයයි. එහෙම කියන්නේ දූෂණ වංචා මෙන්ම සහෝදර සමාගම තමන්ට කළ කෙනෙහිලිකම් දරාගෙන ශ්‍රීලනිපය මෙන්ම නිදහස් සංධානය වහලූන් සේ රාජපක‍්ෂලා වෙනුවෙන් සටන් කළ බැවිනි. ඒ පිරිස් කිසි විටෙකත් ජනවාරි ජයග්‍රහණයේ ඉෂ්ඨාර්ථ කෙරෙහි ලෙන්ගතු නොවෙති. බැසිල් රාජපක‍්ෂ, කුරුණෑගල ජොනී, සචින් වාස්, කළුතර රත්තරන්, ලලිත් විරතුංග, නාලක ගොඩහේවා ආදිහූ මේ වන විට අධිකරණය වෙත පමුණුවා සිටිති. සියල්ලෝම මහින්ද රාජපක‍්ෂ පාලනයේ සක්‍රීය අවයව වෙති. මෛත්‍රී ශ්‍රීලනිප නායකයා වුනාට, මහින්ද ගෙදර ගියාට මෛත්‍රී නිසා ඇමතින් වූ මහින්ද ආණ්ඩුවේ සිටි දේශපාලන සගයන් මේ අධිකරණ ක්‍රියාවලියන් අඩපන කිරීමට හෝ ව්‍යර්ථ කිරීමට නිරන්තර ක්‍රියා කරමින් සිටිති. අපේ අවාසනාවට රටේ දේශපාලන බලය පාවිච්චි වන්නේ රටේ යහපතට නොවේ. දේශපාලන සගයන්ගේ ආරක‍්ෂාවටය. තමන්ට ළංවූ විට ඕනෑම දූෂිතයෙකු බදා සිප වැළඳ ගන්නා පූර්වාදර්ශය රටට අනවශ්‍ය අශීලාචාර හැසිරීමක් ය යන්න ජනවාරි ජයග්‍රහණයේ ප්‍රධාන හේතු පාඨයකි. ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ නායකත්වයට පත් මෛත්‍රීට උක්ත පූර්වාදර්ශයට එරෙහි වීමට නොහැකිවා පමණක් නොවේ. ඔහු මේ වනවිට ඊට අනුගතව ක්‍රියා කරයි. සිවිල් ක්‍රියාධාරයන් මේ මැදිහත් වන්නේ එතැනටය. මෛත්‍රී ඊට ඇහුන්කම් නොදුන්නොත් 2015 ජනවාරිය ආපසු ක්‍රිස්තු වර්ෂ 2014 තෙක් රට ආපස්සට ගමන් කරනවාය. එවිට මෛත්‍රී විසිවී යනු නියතය. සිවිල් ක්‍රියාධරයන් තැත් කරන්නේ මෛත්‍රී සහ යහ පාලනය රැක ගැනීමටය. ශ්‍රීලනිපයට අවශ්‍ය මෛත්‍රී සහ යහ පාලනය විනාශ කරන්නටය.

මහින්ද අත පැවති ශ්‍රීලනිපය 2015 ජනවාරි 9 වෙනිදා අස්වාමික විය. මහින්ද විනාස කළ ශ්‍රීලනිපයට යන එන මං නැති විය. හේතුව මහින්ද සමග ශ්‍රීලනිපය පරාද වූ නිසාය. මෛත්‍රී ශ්‍රීලනිපයේ නායකත්වයට කර ගැසීය. මෙසේ කර ගැසීම ඒ අවස්ථාවේ පක‍්ෂ ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපති පක‍්ෂ නායකත්වයට පත්විය යුතුව තිබිණ. එහෙත් විපක‍්ෂ නායකව සිටි නිමල් සිරිපාල සිල්වා කිවේ කුමක්ද? ජනාධිපති තබා රජ වුනත් පක‍්ෂයෙන් එළවා දැමු කෙනෙකුට පක‍ෂ නායකත්වය බාර දිය නොහැකි බවය. නිමල් සිරිපාල සමග එවකට පක‍්ෂ මහ ලේකම් ධුරය දැරූ අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රවෘත්ති සාකච්ඡා හරහා ද ප්‍රසිද්ධියේ මේ මතය දැරීය. අදවන විට මෛත්‍රී ශ්‍රීලනිප නායකයාව සිටිනවා පමණක් නොවේ. අනුර ප්‍රියදර්ශන යාපා තවදුරටත් පක‍්ෂ මහ ලේකම්ද නොවේ. සරදම වන්නේ පක‍්ෂ ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් වන නිමල් සිරිපාල සහ අනුර ප්‍රියදර්ශන යන දෙදෙනාම යහ පාලන ආණ්ඩුවේ ඇමතිකම් දැරීමය. ඔවුන් හීලෑවුනේ ජනවාරි ජයග්‍රහණයේ යථාර්ථයට ගරු කර නොවේ. තම ආරක‍්ෂාව සඳහාය. මේ වනවිට අනුර යාපා ඛනිජ තෙල් ඇමති කාලයේ සිදුවූ ටෙන්ඩර් මගඩියක් ගැන පරීක‍්ෂයනකටද මුහුණ දෙමින් සිටිති. මේවා ගණුදෙනු මිස දේශපාලන තීන්දු නොවේ. අගෝස්තු මහ මැතිවරණ සමයේ මාදුළුවාවේ හාමුදුරුවන් ඇතුළු සිවිල් ක්‍රියාකාරිකයන්ට වස කුප්පි පෙවීමට තැත් කළ චරිත දෙකකි. ඒ ඩිලාන් පෙරේරා සහ ගම්මන්පිලය. ඩිලාන් යහ පාලන ආණ්ඩුවේ ඇමති කෙනෙකි. ගම්මන්පිල තවම එතැනය.

මේ විසම්මුතිය මෛත්‍රීගේ වාසියට අවසන් වුනොත් ජනවාරි ජයග්‍රහණය සහ යහ පාලනය දෙකම අවසන්ය. එහෙම කියන්නේ මෛත්‍රීට ඔහු සමග පැමිණී රාජිත දුමින්ද ගුණවර්ධන ආදි ශ්‍රී ලංකා කාරයන් හැර කිසිවෙකු හීලෑ කර ගැනීමට නොහැකිව ඇති නිසාය.

අප මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙසේ කියමු. ඔබ ආපසු නොවැම්බර් 21 දිනට ළඟාවී සිවිල් සමාජය සමග එක්විය යුතුවේ. ඔබටත් රටටත් යහපතක් වෙන්නේ එවිටය. ශ්‍රීලනිපයේ නායකත්වය සඳහා ඔබ කරන සටන කපුටා සහ කේජු කෑල්ල කතාවට වඩා වෙනස් කතාවක් නොවනු ඇත.

උ.ගැ. ජනවාරී 8 විප්ලවය සුරකිමු

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: