භෞතිකවාදියෙකු වූ ඔහු, නිවන විශ්වාස කළේ නැත. ඔබට අපගේ උත්තමාචාරය !

සම්පත් ආරියසේන පරිසරවේදියා මා හට හමුවන්නේ මෙයට වසර දාසයකට පමණ පෙර පියල් පරාක්‍රම සහෝදරයාගේ දෙහිවල කුලී නිවසේදී ය. දෙදහස් තුන වර්ෂය වන විට පරිසර ක්ෂේත්‍රයට ආධුනිකයන් වූ අපට පියල් පරාක්‍රම සහෝදරයා පරිසරය පිළිබඳ විවිධ සාකච්ඡා පවත්වන ලද අතර, සම්පත් ආරියසේන නම් මිනිසා හමුවන්නේ මේ මිතුරු හවුලේදී ය.

දන්නා ආකාරයට 1968 අගෝස්තු පස් වැනි දින උපත ලබන ඔහු, කොළඔට පැමිණෙන්නේ සිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ය. බදුල්ලේ ඈත ගම්මානයක සිට කොළඹට පැමිණෙන සම්පත් සහෝදරයා, දේශපාලන විද්‍යාව පිළිබඳ සිය ගෞරව උපාධිය අවසන් වීමත් සමග පරිසර ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා පෞද්ගලික ආයතනයකට සම්බන්ධ විය.

ලෝකයේ පරිසර ප්‍රශ්නය යනු පරිසරයේ ප්‍රශ්නයක් නොව දේශපාලන ප්‍රශ්නයක් බව මෙරට ජනතාවට අවබෝධ කර දීම උදෙසා කෘති රැසක් ඔහු විසින් රචනා කරන ලද අතර, ඒවාට ජලය, ආහාර, පරිසර දේශපාලනය, පරිසර අධිරාජ්‍යවාදය වැනි මාතෘකා මූලික විය. න්‍යායාත්මක දැනුම සමග මිශ්‍ර වූපරිසරය පිළිබඳ විශිෂ්ඨ දේශපාලන දර්ශනයක් සම්පත් ආරියසේන සහෝදරයා තුළ විය.

නිදා සිටින මෙරට සමාජය අවදි කිරීම වෙනුවෙන් විවිධ වූ හරවත් දේශන සහ වැඩමුළු ඔහු විසින් රට පුරා සිංහල, දමිළ හා මුස්ලිම් ජනයා අතර ක්‍රියාත්මක කරන ලදි. පරිසර ක්ෂේත්‍රයේ ඇති වූ විවිධ ආයතනික හා පුද්ගල ගැටීම් හමුවේ තම අරමුණ අත් නොහළ සම්පත් ආරියසේන සහෝදරයා, ලංකාවේ ප්‍රථම හරිත පක්ෂය නිර්මාණය කරන විට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන ලදි. පරිසර අරගලයේදී, පාරිසරික දේශපාලන දර්ශනයේ අවශ්‍යතාව ඔහු විසින් නිතර භාවිතයට ගත් අතර, දැනට වුවත් අපට මග කියන ඉන්දියාවේ ආචාර්ය වන්දනා ශිවාගේ මෙරට මිතුරන් කිහිප දෙනා අතර ඔහු ද ඉදිරියෙන්ම විය. පරිසර සමාජවාදය උදෙසා වූ දාර්ශනික දැක්ම ඔහු විසින් සිංහල බසින් ලියා තබන ලද ශ්‍රේෂ්ඨ කෘතියකි.

ලංකාවේ ජලය පෞද්ගලීකරණයට එරෙහි අරගලයේදී සම්පත් ආරියසේන සහෝදරයා ලොව පුරා ජල අරගල ජයග්‍රහණය කළ ආකාරය හොඳින් අධ්‍යයනය කරමින්, ඒවායින් උගත හැකි ආදර්ශ වලින් එම සටන මුවහත් කරන ලදි. එප්පාවල පොස්පේට් නිධිය මැක්මොරාන්ට විකිණීම නතර කිරීමේ අරගලය, වෙල්ලස්සේ ඉඩම් බුකර්ටේට් සමාගමට ලබාදීමට එරෙහි ජනතා අරගලය ඇතුළු පරිසර අරගලවලදී ඔහු සිය දායකත්වය උඵරිමයෙන් ලබාදෙන ලදි.

පසුකාලීනව ස්වභාවික ගොවිතැන රට තුළ ප්‍රචලිත කිරීම සඳහා නොයෙක් උත්සාහයන් ගත් සම්පත් ආරියසේන සහෝදරයා, පරිසර සංවිධාන හා පරිසරවේදීන් පිළිබඳ කණගාටුවෙන් පසු වූයේ සැබෑ පරිසර ව්‍යාපාරයක් වෙනුවෙන් පෙළ නොගැසීමත්, දේශපාලනික දීනභාවයත් නිසා ය. මාස කිහිපයකට පෙර අවසාන වරට හමුවන විටද ඔහුගේ එම පසුතැවිල්ල නොවෙනස්ව තිබිණි.
සම්පත් ආරියසේන සහෝදරයා පිළිබඳ මා මේ කෙටි ලිපිය ලියන ලද්දේ, මරණයෙන් පසු ගුණ වැයීමට නොව, මේ පරිසර අරගලකරු විසින් ලියා තබා ඇති දෑ පරිශීලනය කර, මෙරට පරිසර දේශපාලනය හා විමුක්තිය සොයන පරිසර අරගලය සඳහා ඒවා භාවිතයට ගත යුතු බව මතක් කිරීමටයි.

භෞතිකවාදියෙකු වූ ඔහු, නිවන විශ්වාස කළේ නැත. ඔබට අපගේ උත්තමාචාරය !

ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: