ඔවුන් දැන් අරගලයට බය වෙලා ඉන්නෙ – ශක්තික සත්කුමාර..

ඔහු විසින් ලියා ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළ කළ ‘අර්ධ‘ කෙටි කතාව මගින් ආගමකට අපහාස වන බව සඳහන් කරමින් අන්තවාදීන් පිරිසක් විසින් පොල්ගහවෙල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඉන්පසු අත්තනෝමතික ලෙස ඔහුට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ නඩු පැවරිණි. මහේස්ත්‍රාත් අධිකරණයකින් මේ චෝදනාවට ඇප දීමට නොහැකි වීම, නීතිපති දෙපාර්තමේන්තුවේ කල් බැලීමේ ක්‍රමවේදය ඇතුළු කරුණු නිසා ඔහුට දින 130 ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදු විය. ඒ, ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ බරපතළම පහරකි. තවදුරටත් ඔහු නිදහස් නැත. සිටින්නේ ඇප පිට ය.

මේ, ශක්තික සත්කුමාර නම් ඔහු ය. සාහිත්‍ය විචාර, විමර්ශන, නවකතා, කෙටිකතා, නාට්‍ය පිටපත් ඇතුළු නිර්මාණ 30 කට වැඩි සංඛ්‍යාවක් රචනා කළ මිනිසා ය. නඩුව ඉදිරියට විභාග වන නිසා ඔහුට කතා කිරීමේදී සීමාකම් තිබේ. නඩුවෙන් පසු ඒ සියල්ල එළියට එන තෙක් ය, මේ සංවාදය.

…………………………………………………….

මුලින්ම කියන්න, ඔබ තවදුරටත් නිර්මාණ කාර්යයේ යෙදෙනවද, ඒක මේ සමාජයේ රැල්ලට යන බහුතරය කොයි විදිහට භාරගනියිද?

නිර්මාණකරුවෙක්ව සිරගත කළා කියලා, අපි හිතමුකො මරලම දැම්මා කියලා ඒත් ඔහුගෙ මතවාදය මේ සමාජයෙන් අයින් කරන්න බෑ. නිර්මාණය තුළින් ඉදිරිපත් කරන මතවාදය පරාජයට පත්කරන්න බෑ. මම ඉදිරියෙදිත් නිර්මාණකරණයේ යෙදෙනවා. දින 130 ක් බන්ධනාගාරගතව ඉන්නකොටත් මම ලේඛන කටයුතු වල යෙදුණා. පොත් කියෙව්වා. මගේ මතවාදය මම ඉදිරියට ගෙනියනවා.

නීතියේ අර්ථකතන සියල්ල අතරෙ අන්තවාදී සමාජය මේ වෙනකොට ඔබව එක මුල්ලකට තල්ලු කරලා තියෙනවා. මේ තත්ත්වය නිර්මාණ කාර්යයේදි ඔබව මොන වගේ මුල්ලකට තල්ලු කරයිද?

මෙහෙමයි, මම ජාතික තලයේ නිර්මාණකරුවෙක් හෝ ලේඛකයෙක් නෙමෙයිනෙ. ප්‍රාදේශීය වශයෙන් මම මගේ උපරිමයෙන් වැඩ කළා. ඒක නිසා ජාතික තලයේදී ඇතැම් කණ්ඩායම් මාව වෙන තැනක හිර කරලා තියයි. ඒත් මට පුළුවන් උපරිමයෙන් මම තවදුරටත් නිර්මාණකරණයේ යෙදෙනවා. අනෙක් නිර්මාණකරුවන්ට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා. කොහොමටත් මම මේ සිද්ධියෙන් අක්‍රීය වෙන්නෙ හෝ පසුබහින්නෙ හෝ නෑ. මම තවත් හයිය ගත්තා.

නිර්මාණකරුවා මරා දැමීම සහ මේ වගේ සිද්ධියකින් පස්සෙ තවදුරටත් ඒ සමාජය ඇතුළෙ ජීවත් වෙන්න සිදුවීම දෙකක්. ඒ අර්බුදයට තමයි ඔබට මුහුණදෙන්න සිද්ධවෙන්නෙ…?

මේක අපිට විතරක් අදාළ දෙයක් නෙමෙයි. ලෝක පරිමාණයෙනුත් මෙහෙම තමයි. සල්මන් රුෂ්ඩිලා වගේ මේ අන්තවාදීන්ගෙ බලපෑම් ඉස්සරහා ලියන එක නැවැත්තුවෙ නෑ. මතවාදය අත්හැරියෙත් නෑ. නිර්මාණකරුවො මේ වගේ සිද්ධියකින් පස්සෙ වෙනස් වෙනව නම් ඒක ඔහුගේ හෝ ඇයගේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ඔබ කියන එක හරි. මරා දැමීමට වඩා අසීරුයි තමයි, මේ වගේ තත්ත්වයකින් පස්සෙ ජීවත් වෙන එක. ඒත් මේ ගැටුම ලෝකයේ හැමදාම තිබුණු සහ තියෙන එකක්.

ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය ඔබව හෘද සාක්ෂියේ හිරකරුවෙක් විදිහට නම් කළා. එතැනින් ඉදිරියට ගියාට පස්සෙ ඔබට දරු දෙදෙනෙකුගෙ තාත්තාගේ භූමිකාව සහ ඇත්ත හෘද සාක්ෂිය රැකගැනීමේ කාර්යය අර අන්තවාදීන් බහුතරය ඉන්න සමාජය තුළම, එකට කරන්න සිදු වෙනවා. ඔබ ඒකට සූදානම් ද?

මට දින 130 ක් මේ විදිහට ඇතුළෙ ඉන්න වෙන්නෙ නෑ. ඔවුන්ගෙ පැත්තෙන් දිගටම මට පණිවිඩ එව්වා, සමාව ගන්න, මේක ඉවරයක් කරගමු කියලා. ඔයාට ගෙයක්-දොරක් තියෙනවා කියලා. මගේ හිතවතුන් පවා මේ පණිවිඩ අරගෙන ආවා. මම දිගටම කිව්වෙ මම සමාව ගන්න වරදක් කරලා නෑ කියලා. කාගෙන මම ඒ කාලය ගත කළා. මට දවස් පහෙන්-දහයෙන් එළියට එන්න තිබුණා. සමහර විට පොලිසිය ඇතුළෙදිම මේක ඉවරයක් කරගන්න තිබුණා, වැඳ වැටුණ නම්. මම එහෙම කළා කියලා සමහරු කියලා තිබුණා. ඒවා බොරු.
මම එහෙම කළා නම් කවදාවත් මේක ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් වන අරගලයකට යන්නෙ නෑ. මම මේ විදිහට සිරගත වුණු පළමු ලේඛකයා වෙන්න පුළුවන්. හැබැයි අවසාන ලේඛකයත් මම වෙන්න ඕනෙ. දැන් මේ සම්බන්ධයෙන් අරගලයක් ඇති වෙලා තියෙනවා. ඒ අරගලය තවදුරටත් ඉදිරියට අරගෙන යන්න ඕනෙ.

අරගලය ඉදිරියට අරගෙන යන්න වෙන්නෙ මගහැරයෑම්, පාවාදීම් වගේ දේවලුත් එක්ක…?

ඔව්. අනිවාර්යෙන්ම. ඒත් ඒ ගැටළුත් ජයගන්න වෙනවා. සමහර ප්‍රවීණයන් මගහැරයද්දි, අලුත් තරුණ කණ්ඩායම් මේ සටන මහ පාර දක්වා අරගෙන ගියා. මම පිටු ගණන් ලියපු ජාතික කියන පත්තර අහක බලා ගනිද්දි, ඒ පත්තර වල සාහිත්‍ය පිටු සංස්කාරකවරු ලියන්නො විතරයි කියලා ඔප්පු කරද්දි, විකල්ප පත්තර, ලංකා, රාවය, අනිද්දා සහ ඇත්ත කියන පත්තර ටික මේ සටන මිනිස්සු ළඟට අරගෙන ගියා. මේක නරක පූර්වාදර්ශයක් නොවන තැනට, ජයග්‍රහණයෙන් අවසන් කරන තැනට අපි ගේන්න ඕනෙ.

ලංකාවෙ මුලින්ම හෘද සාක්ෂියේ සිරකරුවෙක් විදිහට නම් කළේ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම්. ඔහු දැන් ඉන්නෙ රටින් පිට. පහුගිය කාලෙ අපි ඒ වගේ තවත් උදාහරණ රැසක් දැක්කා. ඒවා අතරින් ඇතැම් ඒවා අතිශය සාධාරණයි. ඔබ මොකද කරන්නෙ, ඔබට ඒකෙන් ගැලවිලා මේ පොළොවෙම පය ගහලා ඉන්න පුළුවන්ද?

මම මේ රටට ආදරෙයි. මේ රට දාලා යන්නවත්, පිටුවහල් වෙන්නවත් මගේ කිසිම අදහසක් නෑ. මේ රටේ ඉඳලා මම පුළුවන් තරම් නිර්මාණකරණයේ යෙදෙනවා. ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් අරගල කරනවා. මට වුණු දේ වෙනත් නිර්මාණකරුවෙකුට, කලාකරුවෙකුට වෙන්න ඉඩ තියන්නෙ නෑ කියන තැනයි මම ඉන්නෙ.

ඔය විදිහට අදහස් දක්වපු සමහර පිරිස් පස්සෙ කාලෙක අන්තවාදයට තල්ලු වෙන හැටි අපි දැක්කා. ඔබට මොනවා නොවෙයිද…?

දැනටත් මට මගේ හිතවතුන් විවිධ යෝජනා අරගෙන එනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරලා තියෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත් කරගැනීම ඒ අතරින් විශේෂයි. ඒක අයින් කරගන්න, ඔබට මෙච්චර ගාණක් ලැබෙයි කියනවා. අපිත් එක්ක වැඩ කරමු කියනවා. මම ඒ ඒකකටවත් එකඟ වෙන්නෙ නෑ. අපේ මූලික අයිතිවාසිකම් නඩුව ඉදිරියට අරගෙන යනවා. මොනම හේතුවක් නිසාවත් මම මේ සටන පාවාදෙන්නෙ නෑ.

කවුද ඔය යෝජනා අරගෙන එන්නෙ, රට දන්න-කියන අයත් එනවද…?

විවිධ පාර්ශ්ව වලින් යෝජනා එනවා. මගේ හිතවතුන් හරහා තමයි ඒ යෝජනා එන්නෙ. ඇතුළෙ ඉද්දිත් එහෙමයි. ඇප ලැබුණමත් එහෙමයි. එන්නෙ හිතවතුන් නිසා නම් කියන්න විදිහක් නෑනෙ. ඒත් ඒ අයට මම කියන්න ඕනෙ දේ කියනවා. විශේෂයෙන්ම මගේ බිරිඳ, යනූෂා මේ සිද්ධියෙදි දිගටම කෙලින් හිටියා. කොයි වෙලාවකවත් ඇය දණ ගහන්න සූදානම් වුණේ නෑ.

ඔබට කොහොමත් මේ සටන අත්හරින්න බෑ, ඔබ තවම ඉන්නෙ ඇප පිට. ඔබේ නිර්දෝෂීභාවය නීතිය ඉදිරියේ ඔප්පු කළ යුතුයි. එතැනදි ආපස්සට අඩියක් තියන්න හිතුණොත්…?

කිසිසේත්ම නෑ. මගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් හැමෝම එකතු වෙලා කරපු මේ සටන මම අත්හරින්නෙ නෑ. ආගමික අන්තවාදයට බෑ මේක ආපහු හරවන්න. ඇත්තටම ගත්තොත් දැන් ඔවුන් මේ අරගලයට බය වෙලා ඉන්නෙ.

බලය සහ ඡන්ද ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ සිද්ධියෙදි මගඇරියෙ කොහොමද කියලා අපි දැක්කා. ඒක ආණ්ඩුවට, විපක්ෂයට, සුළු පක්ෂ වලට ඔක්කොටම අදාළයි. ඉස්සරහට එන ඡන්ද වලදි ඔබව හොඳට විකුණන්න පුළුවන්. කාටද විකිණෙන්නෙ, කාටද කඩේ යන්නෙ…?

කිසිම දේශපාලන පක්ෂයකට මම කඩේ යන්නෙ නෑ. කොහොමටත් මම ධනපති පක්ෂ වල දේශපාලනයට එදා ඉඳලම කැමැත්තක් නෑ. ප්‍රතිපත්තිගරුක වමේ පක්ෂ වෙනුවෙන්, මම මගේ උපරිම දායකත්වය ලබා දෙනවා. ලේඛනයෙන්, භාෂණයෙන් ඇතුළු සියලු මැදිහත්වීම් වලින්. ඒක කඩේ යෑමක් නෙමෙයි. මං ඒක විකිණිල්ලක් විදිහට දකින්නෙ නෑ. කොහොමත් වේදිකා උඩ කරන දේශපාලනයට මම යොමුවෙන්නෙ නෑ.

අනෙක් අයගෙ පොදු ප්‍රශ්න වලදි ඔබ සෑහීමට පත්විය හැකි තරම් මැදිහත් වුණේ නෑ කියලා ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා අපි දැක්කා. දැන් ඔබත් ඒ ක්‍රමයේම වින්දිතයෙක්. ඉස්සරහට මොකද වෙන්නෙ…?

ඒ කාරණය මම ප්‍රතික්ෂේප කරනවා. මම විශ්වවිද්‍යාලයෙ ඉඳලම ශිෂ්‍ය දේශපාලනයෙ සක්‍රීයව හිටියා. නිර්මාණකරුවෙක් විදිහටත් මම මගේ උපරිමයෙන් පොදු වැඩ වලට දායක වෙනවා. මකරන්දය තුළින් තමයි, ඔය හුඟක් කවියො එකතු වුණේ. ඒකට හුඟක් දරදිය ඇදපු කෙනෙක් තමයි මම. දෙවැනි මකරන්දය කළේ අපේ ගමේ. අලුතින් කවි පොතක් ගැහුවම කොහෙ හිටියත් මට කතා කරනවා. මම තමයි සියලු මාධ්‍ය වලට කතා කරලා, ඒකෙ ප්‍රවෘත්තිය දාන්න මැදිහත් වෙන්නෙ. පුළුවන් දේවල් මම කළා. තවදුරටත් කරනවා. සමහර පුවත්පත් වලට මම කතා කරන්නෙ මගෙ දේවල් වලට නෙමෙයි.
සමහර විට මට ලොකුවට සටන් බිමට බහින්න බැරිවෙන්න ඇති. මම කොළඹින් පිට ඉන්න එකත් ඒකට හේතුවක් වෙන්න ඇති. මට කොළඹට යන්න- එන්න පැය හයක් ඕනෙ. මට දරුවො දෙන්නෙක් ඉන්නවා. හැබැයි මේ සීමාවන් යටතේ වුවත් මම මගේ උපරිමය කරලා තියෙනවා.

ඔබ බන්ධනාගාරගතව ඉන්න කොට විවිධ පාර්ශ්ව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වලා තිබුණා, ඔබ ජාතිවාදියෙක් කියලා. එතකොට ජාතිවාදියෙකුට අන්තවාදයෙන් පහර දීලා. මොකක්ද මේ ගැන කියන්න තියෙන්නෙ…?

2009 කට්ටිය යුද උන්මාදයෙන් මත්වෙලා ඉන්න කොට තමයි මම වෙඩි වැදුණු පන්හිඳ ලිව්වෙ. ඒකෙදි මම දෙමළ මිනිස්සු ගැන, ඒ ප්‍රශ්නය ගැන කතා කළා. ඒක ඕනෙ කෙනෙකුට බලන්න පුළුවන්. බලලා කතා කරන්න පුළුවන්. 2009 දි මම ඒ පොතේ පෙරවදනෙ ලිව්වා, 2019 වෙද්දි මේ දේ වෙනවා කියලා. මගේ සිද්ධිය නෙමෙයි, අන්තවාදීන් මේ විදිහට වැඩ කරන තැනට පත්වෙනවා කියලා. රට මේ තැනට පත්වෙනවා කියලා. මගේ මතවාදය කවදාවත් වෙනස් වුණේ නෑ. මං ගැන නොදන්න, මගේ නිර්මාණ නොකියවපු පිරිස් මේ වගේ මතවාද සමාජගත කිරීම හරිම කනගාටුවට කරුණක්. ඒත් අපිට ඒවගෙන් සැලෙන්න අයිතියක් නෑ කියලා මම දන්නවා.

ශාලික විමලසේන
(ලංකා ඉරිදා සංග්‍රහය – 2019. 08. 18)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: